නවතම පුවත්

“නවීන තාක්ෂණය යොදාගෙන දරුවන් අනාගතයට යැවිය හැකි වැඩපිළිවෙළ නතරකිරීමට කිසිවෙකුටවත් බැහැ ..

 

“අපි දරුවන්ට දෙන්නෙ සෞඛ්‍යාරක්ෂාව හා ප්‍රමිතිය තහවුරු කළ  ටැබ් පරිගණකයක්..”

-                        අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්

නවීන තාක්ෂණය යොදාගෙන දරුවන් අනාගතයට යැවිය හැකි වැඩපිළිවෙළ නතරකිරීමට කිසිසේත් සූදානම් නැති බවත්, දරුවන්ට ලබාදෙන්නේ සෞඛ්‍යාරක්ෂාව හා ප්‍රමිතිය තහවුරු කළ ටැබ් පරිගණක පමණක් බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මෑතකාලීන අධ්‍යාපන ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (24) අධ්‍යාපන අමාත්‍යාංයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහි දී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඊයේ එක් මාධ්‍ය සාකච්ඡාවක දි චෝදනා කරනවා, සහරාන්ගේ බෝම්බයට වඩා අකිලගේ ටැබ් ලබාදීම භයානකයි කියලා. ටැබ් පරිගණක ලබාදීම පිළිබඳ ව මුල ඉඳලම මේ රටේ සමහරුන්ට ප්‍රශ්නයක් තිබුණා. මේ රටේ දරුවන් අනාගතයට ගෙන යන වැඩපිළිවෙළ නතරකරන්න, නවීන තාක්ෂණය යොදාගෙන ඩිජිටල් ගුරුවරයෙක් හැටියට කටයුතු කරන ටැබ් ලබාදීම නවත්වන්න  පහුගිය කාලෙ පුරාම දිගින් දිගටම මේක නවත්තන්න විවිධ ප්‍රචාර කළා.. මේකට මඩ ගැහුවා.. බිල්ලෙක් මවන්න හැදුවා. ඒ නිසා මගේ යුතුකමක් තියෙනවා විෂය භාර අමාත්‍යවරයා විදියට, එහි තාක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුම තියෙන අයත් සහභාගී කරවාගෙන  මෙහි සැබෑ තත්ත්වය  පැහැදිලි කරවන්න.

මෙම වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය ලබාගැනීම ආදියේ දී, යම් ප්‍රමාදයක් වුණත් ඒ සියලු බාධාවන්ට මුහුණ දී  මුලසිටම විධිමත්ව ඉතා පරිස්සමින් මේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්න කටයුතු කළ බවත්,  දරුවන්ට ලබාදීමට යෝජිත මෙම ටැබ් පරිගණකය යුරෝපයේ දියුණු රටවල පවා පාසල්වල භාවිත කරන, ලෝකයේ පිළිගත් ටැබ් පරිගණකයක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා, “මම දැක්කා මේ දේශපාලනඥයා විවිධ ආකාරයෙන්  මේ ටැබ් වැඩපිළිවෙළ විවේචනය කරනවා. ඔඩොක්කුවෙ තියාගන්න හොඳ නෑ කියනවා..පුරුෂ ශක්තිය නැතිවෙනව කියනවා. මම දැකලා තියෙනවා එතුමත් ටැබ් එකක් පාවිච්චි කරනවා. එතුමන්ට තියෙන්නෙ බ්‍රෑන්ඩඩ් ටැබ් එකක් නෙමෙයි වගේ මට නම් පෙනෙන්නෙ. අපි ලබාදෙන ටැබ් පරිගණකය එහෙම එකක් නෙමෙයි. ඒක බ්‍රෑන්ඩඩ් ටැබ් පරිගණකයක් යැයි ද පැවසීය. .  

සමහරු දේශපාලන අරමුණුවලින් විවිධ චෝදනා නඟන නමුත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු වන අයුරින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉන්දික ද සොයිසා මහතා මෙහි දී අදහස් දක්වමින් තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ගෙන් සමන්විත වූ තාක්ෂණ මණ්ඩලයකින් සකස්කරන ලද නිර්ණායක මෙන් ම ලෝක සම්මත නිර්ණායක ද පදනම් කරගෙන ටැබ් පරිගණක ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව ප්‍රකාශ කළේය.

අනාගත දරුපරපුරට අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග සඳහා පුහුණුකිරීම අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකරන ප්‍රමුඛ කාර්යයක් බවත් හතරවැනි කාර්මික විප්ලවය තුළ අප ජීවත්වීමේ දී ඩිජිටල් සාක්ෂරතාව අත්‍යවශ්‍ය වන බවත් පාසල් දරුවන් පුහුණු කළ යුත්තේ එම අනාගත අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම පිණිස බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

තොරතුරු තාක්ෂණ අංශයේ අවශ්‍යතා සඳහා උපාධිධාරීන් 20,000 කට වාර්ෂික රැකියා අවස්ථා තිබුණත් දැනට සිටින්නේ එම උපාධිධාරීන් 10,000කට ආසන්න සංඛ්‍යාවකි. ඒ අනුව එම උපාධිධාරීන් 10,000ක හිඟයක් පවතී. මේ අවශ්‍යතා සපුරා ගත හැක්කේ පාසල් අධ්‍යාපනය විධිමත් තොරතුරු තාක්ෂණය  හඳුන්වා දීමෙන් බව ද ඒ මහතා පැවසීය.

1980 දශකයේ මෙරට අකුරු ලිවීමට හා කියවීමට දත් සංඛ්‍යාවේ ප්‍රතිශතය 90% ඉක්මවා තිබුණ බවත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය 30% ට ආසන්න වන නමුත් 2021 වර්ෂය වන විට එය 70% දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

“තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමේ දී අවශ්‍යතා හතරක් සම්පූර්ණ විය යුතුයි. එනම්,

ගුරුවරුන්ට මෙම තාක්ෂණය පන්ති කාමරයේ ඉගැන්වීමට පුහුණුකිරීම පළමු වන අවශ්‍යතාවයයි. පෙළපොත් හා පාඩම් ඩිජිටල්කරණයට පත්කිරීම දෙවැනි අවශ්‍යතාවයයි. සිංහල දෙමළ මාධ්‍ය දෙකේ සෑම විෂයයක් ම “ඊ - තක්සලාව” තුළින් ලබා ගත හැකි පරිදි මේ වන විටත් ඩිජිටල්කරණයට පත් කොට තිබෙනවා. ඒ සඳහා උපකරණය වන ටැබ් පරිගණකය තෝරාගැනීම සහ අන්තර්ජාල පහසුකම් සපයා ගැනීම ඉතිරි අවශ්‍යතා දෙකයි. ඒ වෙනුවෙන් ලෝක සම්මත ප්‍රමිති සකස්කර තිබෙනවා. ශ්‍රී ලංකාවට මෙම උපකරණ ගෙන් වීමේ දී අනුගමනය කළ යුතු පිළිගත් නියාමන ක්‍රමවේදයක් ද තිබෙනවා. එය අනුගමනය නොකර කිසිදු උපකරණයක් රට තුළට ගෙන්විය නොහැකියි. තොරතුරු තාකෂණය යටතේ භාවිත කෙරෙන ටැබ් පරිගණක ආදී උපකරණ ගෙන්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය අනුව ලබා ගත් සහතිකය ( Certificate of Electronic) අදාළ උපකරණයෙහි යම් ස්ථානයක සලකුණු කර තිබිය යුතුයි. එසේ නොමැති කිසිදු උපකරණයක් මෙහි ගෙන්විය නොහැකියි. එබැවින් විශේෂඥයින්ගෙන් සමන්විත තාක්ෂණ මණ්ඩලය අදාළ නිර්ණායක අනුව ක්‍රියාත්මක වනු ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Search