නවතම පුවත්

වයඹ විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරෙන වෛද්‍යපීඨය සඳහා මුල්ගල තැබෙයි

19
වයඹ විශ්වවිද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති වෛද්‍යපීඨයට මුල්ගල තැබීම අද (12) උදෑසන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සහ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය ලබුයාය මංසන්ධියේ, මහනුගලන්දවත්ත පරිශ්‍රයේ දී සිදුකෙරුණා.

පසුගිය මහ මැතිවරණ සමයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දී තිබූ තවත් පොරොන්දුවක් මල්ඵල ගන්වමින් මෙම මුල්ගල තැබීම සිදුකෙරුණා. මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, වත්මන් රජය මහමැතිවරණයේ දී ජනතාවට ලබාදුන් පොරොන්දු එකිනෙක ඉටු කිරීම සඳහා මේ වනවිටත් සාර්ථක ලෙස කටයුතු කරමින් සිටින බවයි. මෙම වෛද්‍ය පීඨය හරහා කුරුණෑගල දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් කුලියාපිටිය ප්‍රදේශයේ දැනට පවතින රෝහල, ශික්ෂණ රෝහලක් ලෙස වැඩිදියුණු කිරීමට ද ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

නිදහස් අධ්‍යාපන අයිතීන් පුළුල් කරමින් දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරහා ඉදිරියට ගොස් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා වත්මන් රජය හැකි සෑම පියවරක් ම ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ මුල්ගල තැබීමේ කටයුත්තට දායකත්වය ලබාදුන් සැමට ද සිය කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා, එළඹෙන දෙසැම්බර් මාසයේ දී කුලියාපිටියේ වොක්ස් වැගන් කර්මාන්තශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සිහිපත් කළා.

වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ජේ. බී. ඒ ජයසේකර මහතා , විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මොහාන්ද සිල්වා මහතා සහ ප්‍රදේශයේ මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියා.

Search