නවතම පුවත්

තවත් සිසුන් 5000 කට පහ ශ්‍රේණි ශිෂ්‍යාධාර අරමුදල් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

  • · ශිෂ්‍යාධාර දීමනාව ද රුපියල් 750ක් දක්වා ඉහළට...

            පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ ඉක්මවූ තවත් සිසුන් 5,000කට ශිෂ්‍යාධාර ලබාදීමට අදාළ කැබිනට් මණ්ඩල යෝජනාවට මේ වනවිට අනුමැතිය හිමි ව තිබේ. මෙසේ ශිෂ්‍යාධාර ලබාදීමේ සිසුන් සංඛ්‍යාව වැඩි වී ඇත්තේ වසර 11කට පසුව වීම ද  විශේෂත්වයකි. 

මෙතෙක් එම ශිෂ්‍යාධාර සිසුන් 15,000කට පමණක් හිමි වූ අතර, 2019-08-13 දින අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සටහනකට අනුව, අරමුදල් ලබාදෙන සිසුන් සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ නැංවීමට අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ම මෙම ශිෂ්‍යාධාර මුදල අදාළ සිසුන් වෙත හිමි වන අතර නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් ආර්ථික දුෂ්කරතා සහිත සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය ශක්තිමත් කරලීමට මෙමගින් මහත් පිටුබලයක් සැලසෙයි.

 මෙහි විශේෂත්වයක් වන්නේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින,  විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ද මෙම ශිෂ්‍යාධාර අරමුදල් ලබා ගැනීමට අවස්ථාවක් සම්පාදනය කොට තිබීමයි. එනම්, ශිෂ්‍යාධාර ලබාදීමට නියමිත සිසුන් 20,000 අතරින් සිසුන් 250ක් තෝරාගැනෙනුයේ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගෙනි.

රටේ සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවෙන් රජය විවිධ පියවර රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, ශිෂ්‍යාධාර අරමුදල් ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව  ඉහළ නැංවීම මෙන්ම ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 500/- සිට 750 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇත. ඉහළ නංවන ලද මෙම ශිෂ්‍යාධාර දීමනාව 2019 ජනවාරි මස පළමුවෙනිදා සිට ගෙවීමට අනුමැතිය හිමි වී ඇති අතර ඒ අනුව ජනවාරි මස සිට නියමිත හිඟ මුදල් ගෙවීමට අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලෙස රජය රුපියල් මිලියන 300ක් වෙන්කර ඇත.   

            පසුගිය වර්ෂවල දී සිදුවූයේ  ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉක්මවූවන්ගේ දෙමව්පිය ,භාරකරුගේ මාසික ආදායම් සීමාව රු 4,500 නොඉක්මවන අවස්ථාවල දී අදාළ ශිෂ්‍යාධාර අරමුදල ලබාදීමයි. එහෙත්, ‍2019-‍09-11 දින හිමි වූ කැබිනට් අනුමැතිය අනුව, එම ආදායම් සීමාව රු 15,000/- ලෙස සංශෝධනය කර ඇත.

එමෙන් ම, 2019 වර්ෂයෙන් පසු එළඹෙන  ඉදිරි වර්ෂවල දී ශිෂ්‍යාධාර ලබාදිමේ දී දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ මාසික ආදායම් සීමාව තීරණය කිරීමේ බලය ද , අධ්‍යාපන ලේකම්වරයාට මෙම කැබිනට් පත්‍රිකාව මගින් හිමි වී ඇත.

Search