නවතම පුවත්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි සිසුන් මානසික පීඩනයෙන් මුදා ගැනීමට තමා ගනු ලැබූ තීරණය හේතුවක් වුණා

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම, දෙවන හා තෙවන ආදී ස්ථාන නම් නොකර මෙවර ප්‍රතිඵල නිකුත් කිරීම නිසා එම විභාගයට පෙනී සිටි දරුවන්ට තවත් සිසුවකු සමඟ සැසඳීමකින් හා කිසිදු පීඩනයකින් තොරව ඉදිරි අධ්‍යාපන කටයුතුවල යෙදීමේ වරම ලබාදීමට තමාට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි.

සිසු දරුවන් විභාගවලදී පැය කිහිපයක් ඇතුළත ප්‍රශ්න පත්‍රවලට සපයන පිළිතුරුවලින්  ලබන ප්‍රතිඵල මත පමණක් ඔවුන්ගේ දක්ෂ අදක්ෂ බව තක්සේරු කිරීම තමන් අනුමත නොකරන බැවින්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම, දෙවන, තෙවන යනාදී ස්ථාන නම් නොකිරීමට තමා ගනු ලැබූ තීරණය පරිදි මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන ලද බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

එමෙන් ම ශිෂ්‍යත්ව විභාගය සඳහා පවතින අනවශ්‍ය තරඟකාරිත්වය මත දරුවන්ට අහිමි වන ළමා කාලය නැවතත් ඔවුන්ට ලබාදීමට ගනු ලැබූ මෙම තීරණය ඉදිරියටත් ක්‍රියාත්මක කිරිමෙන් හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

පාසලක සියලුම දරුවන්ට සමානව සැලකිය යුතු වුවත්, මෙතෙක් සිදු වූයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ කිහිප දෙනෙකු පමණක් ප්‍රදර්ශනාත්මකව අගය කිරීමයි. අනෙක් සිසුන් අපහසුතාවයට පත් කරන එම සම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා තමාගේ මෙම තීරණය දරුවන්ට පමණක් නොව ඔවුන්ගේ මවුපියන්ට, ගුරුවරුන්ට අස්වැසිල්ලක් වූ බව බොහෝ විදුහල්පතිවරුන් හා ගුරු දෙගුරුන් තමාට ප්‍රකාශ කළ බව  ද අමාත්‍යවරයා සඳහන් කරයි.

දරුවන්ට නිදහසේ සිය අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථා සලසාදීම සඳහා අ.පො.ස. (සා.පෙළ) විභාගයේ සමත් අසමත්භාවය නොසලකා සිය නිපුණතාව හා කැමැත්ත පරිදි අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබීමට “13 වසරක සහතික කළ අධ්‍යාපනය” වැනි විප්ලවීය වැඩසටහනක් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දැඩි කැපවීමකින් ක්‍රියාත්මක කිරීමට තමාට හැකි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

වසර 11 ක් වැනි දීර්ඝ කාලයකට පසුව පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර ලබන සිසුන්ගේ සංඛ්‍යාව 15,000 සිට 20,000 දක්වා වැඩි කිරීමටත්, එයින් විශේෂ අධ්‍යාපනය ලබන සිසුන්  250කට ශිෂ්‍යාධාර ලබාදීම අනිවාර්යය කිරීම සහ  මාසික ශිෂ්‍යාධාර මුදල රු500/- සිට රු 750/- දක්වා ඉහළ දැමීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි පියවර ගෙන ඇති අතර ශිෂ්‍යාධාර මුදල් ප්‍රමාදයකින් තොරව Online ක්‍රමයට සිසුන් ට ලබා ගැනීමේ පහසුකම්ද සලසා ඇත.

Search