නවතම පුවත්

ජනාධිපති අපේක්ෂකවරයෙකුගේ  නාමයෝජනා පත්‍රය භාරදීම පිළිබඳ හෝ අවබෝධයක් නොමැති රාජපක්ෂ කණ්ඩායමේ අවස්ථාවාදී දේශපාලනය ලැජ්ජා සහගතයි. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දෙන අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායකතුමන්, මහලේකම්වරයා සහ උප නායකතුමන් ඊට සහභාගී නොවූ බව සඳහන් කරමින් විවිධ අසත්‍ය තොරතුරු  සමාජගත කරමින් අවලාදාත්මක දේශපාලනයක නිතර වීමේ ගෝඨාභය රාජපක්ෂ කණ්ඩායමේ වෑයම පිළිකුලෙන් යුතුව  බැහැර කරමි

 එක්සත් ජාතික පක්ෂයේ  2020  ජනපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ ඒකමතික තීරණයෙන් තෝරාගත් අතර සෙසු සන්ධානගත පක්ෂ සමග එක්ව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ද සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වෙයි. 

නාමයෝජනා භාර දීම සඳහා සහභාගී වීමට අවසර ඇත්තේ අදාළ පක්ෂයේ ලේකම්වරයා,නීතිඥවරයා සහ අපේක්ෂකයාට පමණක් බව මැතිවරණ නීතිය දන්නා ඕනෑම පුද්ගලයෙකු හොඳින් දන්නා කරුණකි. 

ඒ අනුව ඊයේ දිනයේ පැවති නාම යෝජනා භාර දීමේ අවස්ථාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය, නීතිඥවරයා සහ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පමණක් සහභාගි වූ බව සඳහන් කළ යුතුය.

තත්ත්වය එසේ පැහැදිලි ව තිබියදී එය නොදන්නවා සේ ඊට වෙනත් අර්ථකථන ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂ නායකයා, මහලේකම්වරයා සහ උප නායකයා ඊට සම්බන්ධ නොවූ බව ප්‍රකාශ කරමින් තම දේශපාලන අඳබාලභාවය ප්‍රදර්ශනය කරමින් සිදුකරන අර්ථ විරහිත ප්‍රකාශ රාජපක්ෂ කණ්ඩායමේ දේශපාලන බංකොලොත්භාවය සමාජය හමුවේ නිරාවරණය කර ඇත.

 එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන අතර පවුල් පාලනයක් තුළ වහල් මානසිකත්වයකින් දේශපාලනයේ යෙදෙන  පොදුජන පෙරමුණේ  දේශපාලන භාවිතයට වඩා එය වෙනස් ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී වූවක් බව නැවතත් සිහිපත් කර දීමට කැමැත්තෙමි. 

ප්‍රජාතන්ත්‍රවාදය බැහැර කළ ඒකාධිපති පාලනයක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් එකට එක් වූ සියලු බලවේග සමඟ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ විජයග්‍රහණය වෙනුවෙන්  සියලු ම එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම  මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ම ජන බලවේගයන් කැපවී සිටින බව ද බංකොලොත් විපක්ෂයට සිහිපත් කරමි. 

එබැවින් විවිධ අසත්‍ය කරුණු සමාජගත කරමින්  සැලසුම් සහගත අර්බුද නිර්මාණය කිරීමට  උත්සහ දරමින් තම ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයින් මෙන්ම කණ්ඩායම් අපහසුතාවට පත් කිරීමේ පොදුජන පෙරමුණේ උත්සාහයන්ට එක්සත් ජාතික පක්ෂයේ සියලු ආදරණීය පාක්ෂිකයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය අගයන බුද්ධිමත් ජනතාව නොවැම්බර් 16 වෙනිදා ඡන්ද පොළේ දී නිසි පිළිතුරු ලබාදෙනු ඇත.

Search