නවතම පුවත්

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයධාරාවේ අධ්‍යාපනය දරුවන් අතර පුළුල් ලෙස ප්‍රචලිත කිරීම සදහා නව ප්‍රායෝගික සහ සිද්ධාන්තමය විෂය මාලා නවීකරණයකට සූදානම්

14520571 10154636015934060 4916387301819287561 n
ඉදිරියේ දී මෙරට ඇති කිරීමට යෝජිත සුහුරු පන්ති කාමර (Smart Class Room) සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ධාරාවේ නව ඉගැන්වීම් ක්‍රමවේදයන්ගේ නවීකරණයන් වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය හා එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

දකුණු කොරියාවේ GMOE (Gwagnju Metropolitan Office of Education) ආයතනයේ දින 15 ක විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගි වී පැමිණි ගුරුවරුන් හා නිලධාරීන් 22 දෙනෙකු සමග අමාත්‍යාංශයේ දී පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඔවුන් විසින් අධ්‍යයනය කරන ලද නව විෂය කරුණු සහ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ වාර්තාවක් අමාත්‍යවරයා වෙත ලබා දීම මෙහිදී සිදු කෙරුණා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් දකුණු කොරියානු රජය සමග සිදු කළ ද්වි පාර්ශවීය සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් සඳහා විදේශ පුහුණු අවස්ථා ලබාදීමට කොරියානු රජය එකඟතාවය පළ කර තිබෙනවා. මෙම පිරිස දකුණු කොරියාවේ පුහුණු වැඩසටහනක් සඳහා සහභාගි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. මෙම පිරිස සමග සුහද පිළිසඳරක නිරත වූ අමාත්‍යවරයා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයන් මෙරට පාසල් තුළ ඉගැන්වීමේ දී ගුරුවරුන් හා දරුවන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු සහ ඒවා විසඳීම සඳහා දකුණු කොරියාව වැනි රටවල් අනුගමනය කරන නවීන සහ සරල ක්‍රමවේදයන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

ඒ අනුව ජාත්‍යන්තරය ජයගත හැකි ආකාරයෙන් සරලව හා ප්‍රායෝගිකව විෂය කරුණු දරුවන් වෙත ඉගැන්විය හැකි නව ක්‍රමවේද හඳුන්වාදීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ද සම්බන්ධ කරගනිමින් විශේෂ කමිටුවක් පිහිටුවීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ සඳහා මෙම ගුරුවරුන්ගේ ද අදහස් හා අත්දැකීම් ලබාගැනීමට අපේක්ෂිතයි.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ අධ්‍යක්ෂ නීල් ගුණදාස මහතා ඇතුළු නිලධාරී පිරිසක් ද එක්ව සිටියා.

Search