නවතම පුවත්

ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කරන විට රට මිස පවුල් වාදය තෝරා නොගන්න

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම්

අද (10) දවසේ ආරම්භ කරන ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය දක්වාම ගෙන යන බවත් කොළඹ ගෝල්ෆේස් පිටියට සිව් දෙසින් පැමිණි මහා ජන ගංඟාව ජනාධිපතිවරණයට හංසයා ලකුණින් තරඟ කරන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

මෙවර ජනාධිපතිවරණය, මෙරට ජනතාව භුක්තිවිදින නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කර ආර්ථික දියුණුව තීරණය කරන ජනාධිපතිවරණයක් බැවින්ජනතාව සිය ජන්දය ප්‍රකාශ කිරිමේදී රට මිස පවුල් වාදය තෝරානොගත යුතු බව මහලේකම්වරයා ප්‍රකාශ ක‌ෙළ්ය.

මහලේකම්වරයා එසේ ප්‍රකාශ කළේනව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය  තහවුරු කිරීමට අද (10) කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති අති දවැන්ත ජන රැළිය අමතමිනි.

“ජනාධිපතිවරණය හරියට ක්‍රීඩා තරඟයක් වගේ. තරඟය ආරම්භයේදී කාසියේ වාසිය බලනවා. ඒ වගේ මේ තරගයේදී පවුලද රටද වඩා වැදගත් වන්නේ කියලා බලන්න ඕනේ. පවුල ඕනෑ නම්,පොහොට්ටුව. රට ඕනෑ නම් හංසයාට ජන්දය දෙන්න. ඒකාධිපතිවාදය ඕනෑ නම්, පොහොට්ටුව. ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ නම්, හංසයාට ජන්දය දෙන්න.

ශ්‍රි ලංකාව ලෝකෙන් වෙන් වූ රටක් බවට පත් කිරීමට අවශ්‍ය ද? එසේ නම් පොහොට්ටුව. ශ්‍රි ලංකාව සිංගප්පූරුව වැනි දියුණු රටක් කිරීමට අවශ්‍ය නම්  හංසයාට ජන්දය දෙන්න. යුක්තිය හා ප්‍රතිපත්ති රජයන රටක් අවශ්‍ය නම්  හංසයාට ජන්දය දෙන්න.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක පනවා ගන්න ඕනෑ නම්, පොහොට්ටුව. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන්  පිලිගන්නා බලගතු රටක් බවට පත් කර ගැනීමට නම් හංසයාට ජන්දය දෙන්න. ‘ගෝඨා - භය’ ආපසු ඕනෑ නම්, පොහොට්ටුව.

ජනතාව වෙනුවෙන් වැඩ කරන නායකයෙක් පත් කර ගැනීමට ඕනෑ නම් හංසයා. ඇමරිකාවෙන් ආනයනය කල ජනාධිපතිවරයෙක් ඕනෑ නම්, පොහොට්ටුව. ශ්‍රී ලංකාවේ ම ජනාධිපතිවරයෙක් ඕනෑ නම් හංසයාට ජන්දය දෙන්න” යැයි ද මහලේකම්වරයා රැස්ව සිටි දැවැන්ත ජන රැළියට සහභාගී වී සිටි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

“නාමයෝජනා බාරදුන් දිනයේ ජනමාධ්‍ය අමතමින් පොහොට්ටු පක්ෂයේ නායකයකු මෙරටට ‘ටර්මිනේටර්’(Terminator)කෙනෙකු අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. ටර්මිනේටර් යන වචනයෙන් කියවෙන්නේ කම්මුතු කරන්නා යන තේරුමයි. අද ශ්‍රී ලංකාවේ ජනතාව භුක්ති විදින නිදහස, අයිතිවාසිකම් කම්මුතු කරන පවුල් වාදය තහවුරු කරන නායකයෙක් අවශ්‍ය නැහැ.එම නිසා සියලු දෙනාගේ ශක්තියෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවා තවත් වසර 15 කට එක්සත් ජාතික පෙරමුණේ පාලනයක් හිමි කර ගත යුතුයි”.මහලේකම්වරයා අවධාරණය කළේය.

Search