නවතම පුවත්

අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 3,225 කට ගුරු පත්වීම්

14542360 10154629999554060 5034601257838131470 oජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී ගුරුවරුන්ට ජාතික අධ්‍යාපන ආයතනය තුළ උපාධිය දක්වා හා ඉන් ඔබ්බට උසස් අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ලෝකය වේගයෙන් වෙනස්වෙමින් පවතින බැවින් ගුරුවරුන් නව දැනුමෙන් සන්නද්ධ විය අතර විෂය කරුණු පිළිබද යාවත්කාලීන වීමත්, නව තාක්ෂණය හා නව ඉගැන්වීම් ක්‍රමවේද භාවිතා කිරීමටත් අවශ්‍ය ගුරු පුහුණු අවස්ථා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඇතිකර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා. ඒ අද (04) අරලියගහ මන්දිරයේ පැවති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී ගුරුවරුන් 3,225 කට පත්වීම් ලබාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

ගුරුවරුන්ගේ කාර්යසාධනය පදනම් කරගත් උසස්වීම් සහ වරප්‍රසාද ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී සකස් කරන බව සඳහන් කළ අමාත්‍යවරයා ගුරු තුලනය නිසියාකාරව සිදු නොවීම නිසා 60,000 ක ගුරු හිගයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන්නා. ඉදිරියේ දී ගුරු තුලනය ඇති කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද ගුරු හිගයට පිළියම් ලෙස අවශ්‍යතාවයන් අනුව නවක ගුරුවරුන් බදවා ගැනීමට කටයුතු යොදන බවත් එහි එක් පියවරක් ලෙස මෙම වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සදහා බඳවාගන්නා ගුරු ශිෂ්‍ය ප්‍රමාණයට අමතරව ගුරු ශිෂ්‍යයන් 1,500 ක වැඩි පුර ප්‍රමාණයක් බදවාගත් බවත් අමාත්‍යවරයා සදහන් කළා.

අද දිනයේ පත්වීම් ලද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 2013-2015 කණ්ඩායමේ ඩිප්ලෝමාධාරී පුහුණුව සමත්වූ ගුරු සිසුන් සඳහා ඉතා කෙටි කලකින් පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත කටයුතු කර තිබූණු අතර මෙහිදී සිංහල/ඉංග්‍රීසි මාධ්‍යයන් වෙනුවෙන් ජාතික පාසල් සඳහා ගුරුවරුන් 1,158 දෙනෙකු සහ දෙමළ මාධ්‍ය වෙනුවෙන් ගුරුවරුන් 308 දෙනෙකු වෙත පත්වීම් ලබාදුන් අතර පළාත් පාසල් සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 1,759 ක් පත්වීම් ලබාගත්තා. ඒ බස්නාහිර පළාත සඳහා 83 දෙනෙකු, දකුණු පළාත සඳහා 154 දෙනෙකු, ඌව පළාත සඳහා 109 දෙනෙකු, උතුරු මැද පළාත සඳහා 229 දෙනෙකු, සබරගමුව පළාත සඳහා 192 දෙනෙකු, මධ්‍යම පළාත සඳහා 375 දෙනෙකු, වයඹ පළාත සඳහා 184 දෙනෙකු, උතුරු පළාත සඳහා 241 දෙනෙකු සහ නැගෙනහිර පළාත සඳහා 192 දෙනෙකු වශයෙන්. ඒ අනුව පත්වීම් ලද ඩිප්ලෝමාධාරී නවක ගුරුවරුන් සංඛ්‍යාව 3225 ක්.

මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය, විභාග කොමසාරිස් ජනරාල්, විද්‍යාපීඨ කොමසාරිස්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්වල පීඨාධිපතිවරු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා නවක පත්වීම්ලාභී ගුරුවර ගුරුවරියන් එක් වී සිටියා.

Search