නවතම පුවත්

සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ගෙවීම් රුපියල් මිලියන 1,500 ඉක්මවයි

සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් මේ වනවිට සිසුන් 35,000කට රුපියල් මිලියන 1,588ක ප්‍රතිලාභ ලබා දී තිබේ. මේඅනුව, 2018 වසරේ දෙසැම්බර් 01 සිට 2019නොවැම්බර් 30 දක්වා ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් අදාළ රක්ෂණ ආයතනය වෙත රජය විසින් වෙන් කරන ලද සමස්ත මූල්‍ය ප්‍රතිපාදනය ම සිසු දරුවන් වෙනුවෙන් ලබාදීමට හැකිවනු ඇත.

මව්පිය අහිමිවීමක දී සිසුදරුවන්ගේ අධ්‍යාපනය අඩාලවීමට ඉඩ නොතැබීමටත්, අසාධ්‍ය රෝග, හදිසිඅනතුරු අවස්ථා මෙන් ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට සිදුවන ඕනෑම අවස්ථාවක දී ඒ සඳහා ශක්තිමත් ව මුහුණදීමටත් සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් සුවිසල් පිටුබලයක් සැලසෙන අතර මෙම ගෙවීම් තුළ පුද්ගල මරණ සම්බන්ධ ව සිදුකරන ලද ඉල්ලීම් 4,800ක් ඇතුළත්ය.

අධ්‍යාපන අමාත්‍යතුමාගේ උපදෙස් අනුව, මේ වසරේ සිට සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩි කිරීමට සුවිශේෂී පියවර කිහිපයක් ගෙන ඇත. රජයේ රෝහල්ගත වන දිනකට ගෙවන මුදල රුපියල් 1,000/- සිට රුපියල් 3,000/- තෙක් වැඩි කිරීම, බාහිර ප්‍රතිකාර යටතේ ශ්‍රව්‍ය-දෘශ්‍ය උපකරණ, ඇස් කණ්ණාඩි වැනි උපකරණ ලබා ගැනීමේ හැකියාව, විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු ලබා ගැනීමට හැකියාව, මුදල් ගෙවීමකින් තොර ව රෝහල්ගත වීමේ හැකියාව, රෝහල්ගත වීමට පෙර දින 7ක් සහ රෝහලෙන් පිට වූ පසු දින 14ක් බෙහෙත් ලබා ගැනීමේ හැකියාව ද ලබා දීම ඒ අතර ප්‍රමුඛ වේ.

රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු.20,000/-ක් ද,අසාධ්‍ය රෝගප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැය වන මුළු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවකදී රු. 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක දී රු.150,000/- සිට රු. 200,000/-ක් දක්වා ද, මවුපිය වියෝවකදී එක් අයකුට රු. 200,000/- බැඟින් දෙදෙනාට ම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු. 150,000/- ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමේ.

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වරට අධ්‍යාපන අමාත්‍ය,නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙරට පාසල් පද්ධතිය වෙත හඳුන්වාදෙන ලද මෙම සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ අවුරුදු 5-21 වයස් සීමාවේ පසු වන සියලු ම පාසල් දරුවන් වෙත නොපමාව ලබාදීම රජයේ අරමුණ බැවින් සුරක්ෂා ප්‍රතිලාභ ලබාගැනීමේ දී යම් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටළුවක් මතුවේ නම්,අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112369369, 0113641555,0112784872 යන දුරකතන අංකවලට අමතා ඒ සම්බන්ධ ව දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Search