නවතම පුවත්

“මේ සටන අපට ජයගන්න පුළුවන්. මොන බාධක ආවත් අපි ගත වූ වසර කිහිපය තුළ ජනතාවට දැනෙන වැඩකොටසක් කළා”

කවර බාධක පැමිණියත් ගත වූ වසර කිහිපය තුළ ජනතාවට දැනෙන වැඩ කොටසක් කරන්නට රජයක් වශයෙන් සමත් වූ බවත්, මෙවර ජනාධිපතිවරණය නිසැකවම එක්සත් ජාතික පක්ෂයට ජයගැනීමට හැකි බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දඹදෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක රූකාන්ත ගුණතිලක මහතාගේ මූලිකත්වයෙන් කුරුනෑගල, නාරම්මල මහජන පොළ පරිශ්‍රයේ පසුගිය දා පැවති ජනරැලියට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

පසුගිය රජය සමයේ රටේ පැවති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍යවරයා, “2010 ජනාධිපතිවරණයෙ ඡන්ද ගනින්න ගිහිල්ලා සියලු ම ආරක්ෂක නිලධාරීන් සිටිද්දී අධිආරක්ෂිත කලාපෙදි අපිට වෙඩි තිබ්බා. මම පණ බේරගත්තෙ අනූනවයෙන්. ඔබතුමන්ලට මතක ඇති මේ ප්‍රදේශවල තිබුණ තත්ත්වේ. අපි ඒ වෙනුවට කළේ සාධාරණ සමාජයක් ඇතිකිරීමයි. අපේ ආණ්ඩුව තරම් පොලිස් නිලධාරීන්ගේ හමුදා නිලධාරීන්ගේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරපු ආණ්ඩුවක් තියෙනව ද කියලා මම තමුන්නාන්සෙලාගෙන් අහනවා..මගේ අමාත්‍යාංශය යටතේ ගුරුවරු දෙලක්ෂ පනස්දහසක් ඉන්නවා, ශ්‍රේණිධාරී විදුහල්පතිවරු 17,000ක් ඉන්නවා. සියයට දෙසිය ගනන්වලින් ඒ එක් එක් ශ්‍රේණිවල වැටුප් අපි වැඩි කළා . රාජ්‍ය සේවකයින් ලක්ෂ 15ක් 16ක් ඉන්නවා. අහල බලන්න මේ අවුරුදු තුන හතර ඇතුළත දුන්න සහන ගැන. ” යැයි පැවසීය.

ජනමාධ්‍ය තුළින් බඩු මිළ ඉහළ යාම සම්බන්ධව මවාපෑම් කරන්නට උත්සාහ දරන බව ද, අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිළ මීට වසර 5කට පෙර තිබුණාට වඩා අඩුවෙන් තවමත් පවතින බව ද, මාධ්‍ය මාෆියාව යොදාගනිමින් ජනතාවගේ ජීවන බර වැඩි කර ඇති බව ඒත්තුගන්වන්නට උත්සාහ දරන බව ද ජනතාව මේවාට නොරැවටී බුද්ධිමත් ව කටයුතු කළ යුතු බව ද, මෙහි දී තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

එමෙන් ම මෙහි දී තවදුර‍ටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, මේ රටේ මිනිස්සුන්ට තොරතුරු ලබාගැනීමේ පනත ගෙනල්ලා, කොමිසන් සභා ඇතිකරලා, දේශපාලනඥයෝ කරන බලපෑම් නැතිකරන්න කටයුතු කරල තියෙනවා.




අද පොලිස් කොමිසම තියෙනවා. මැතිවරණ කොමිසම තියෙනවා. ඉස්සර ඡන්දයක් තියෙන කොට මැතිවරණ කොමසාරිස් පවා කිව්වෙ තමන්ට ආතතිය කියලා, දේශපාලනඥයන්ගෙන් තිබුණ බලපෑම් නිසා. අද මැතිවරණ කොමිසම හදපු නිසා හිතෙන හිතෙන දේ කාටවත් කරන්න බෑ. අපි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කොයිතරම් කටයුතු කළා ද කියලා සාපේක්ෂ ව හිතලා බලන්න.. යැයි ද සඳහන් කළේය.

එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක බණ්ඩාරනායක මැතිතුමා සඟ වෙද ගුරු ගොවි කම්කරු නමින් පංච මහා බලවේගයක් නිර්මාණය කළ බවත් අද පොහොට්ටුවේ තියෙන බලවේගය රාජපක්ෂවරුන් පමණක් බව ද ජනතාව‍ට රට වැදගත්නම් ඡන්දය හංසයාට දෙන ලෙසත්, පවුලක් වැදගත් නම් පොහොට්ටුවට ඡන්දය දෙන ලෙසත් අමාත්‍යවරයා කරුණු දැක්වීය.

මෙහි දී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, “අපිට පුළුවන්කම ලැබුණා, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, අනෙකුත් සියලු ම නායකයනුත් එක මතයකට ඇවිත් අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ම අද එක මතයකට ඇවිත් ශක්තිමත් පවුරක් ‍විදියට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, එදා ප්‍රේමදාස මැතිතුමා දුප්පතුන්ට, සාමාන්‍ය ජනතාවට කළ විශේෂත්වය නිසා අද සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඒ කටයුත්ත කරයි කියලා හැමෝගෙම විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා.”.. යැයි ද පැවසීය.
 
 
 
 
 
 
 
 
 
 
 

Search