නවතම පුවත්

කීර්තිමත් ආනන්ද විද්‍යාලය පටු දේශපාලන අතකොලුවක් බවට පත්කරගැනීම හෙළා දකිමු

කොළඹ ආනන්ද විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම දේශපාලන කටයුත්තක් පෙරදැරිකරගෙන සිදුවන්නක් බවට මතයක් සමාජගත කරන්නට ඇතැම් පිරිස් විසින් දරන උත්සාහය කණගාටුදායක ය.

ආනන්ද විද්‍යාලයේ ගිලාබැසීමේ අවදානමකට ලක්ව තිබූ මහල් පහකින් යුත් මුවර් ගොඩනැගිල්ල වෙනුවට නව සත්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින්  2016 ඔක්තෝබර් 26 වැනි දින 2016/ED/E/34  දරන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව 2016 නොවැම්බර් මස 08 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබීය.

ඒ අනුව, ආනන්ද විද්‍යාලයේ මෙම යෝජිත සත්මහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම හැර ඉතිරි ඉදිකිරීම් කටයුතු සියල්ල සිදුකෙරුණේ  2016 වසරේ අදාළ කොන්ත්‍රාත් ප්‍රදානයෙන් පසුවය.

2019-10-21 දින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව ලිපියක් මගින් දැනුම් දී ඇතැයි සඳහන් වන්නේ 2014 වසරේ දී හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද බවයි. එහෙත් 2015 වසරේ ජනාධිපතිවරණයට දින 7ක් තිබිය දී හිටපු ආරක්ෂක ලේකම්වරයා ලවා මෙම ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සිදුකර ඇත්තේ මෙම ඉදිකිරීම් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ අනුගමනය කිරීමකින් තොරවය.

2015 වසරේ ජනාධිපතිවරණයට දින 7ක් තිබිය දී මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද බව දැන දැනත් 2014 වර්ෂයේ දී මෙම ඉදිකිරීම් ආරම්භ කළ බව සඳහන් කිරීම මැතිවරණ කොමිසම නොමග යැවීමකි. එමෙන් ම ජනතාවට සත්‍යය වසන් කිරීමකි. එම අවස්ථාවේ දී මුල්ගල තැබීම දේශපාලන වාසි ගැනීමේ අරමුණින් කරන ලද්දක් බවට මැතිවරණ කොමසාරිස්වරයාට කිසිවෙකුත් පැමිණිලි ඉදිරිපත් කළේ නැත.

 2016 වසරේ සහ ඉන් පසුව එළඹි වර්ෂවල අධ්‍යාපන අමාත්‍යාංශ මූල්‍ය ප්‍රතිපාදන මගින් වෙන් කරගන්නා ලද රුපියල් මිලියන 600 කට ආසන්න මුදල් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගෙන ඇත. මෙම ගොඩනැගිල්ලේ විවෘත කිරීම් සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී ආනන්ද විද්‍යාලයේ වත්මන් විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු කණ්ඩායම ඒ සඳහා අදාළ දිනයන් යොදාගැනීම පිළිබඳ එකඟත්වය පළ කළ අතර, ආදිශිෂ්‍ය හා දෙමව්පිය නියෝජිතයන්ගේ ද එකඟත්වය ඒ සඳහා පළ කර තිබිණි. ඒ අනුව, අදාළ විවෘත කිරීමේ උත්සවය පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය ද අධ්‍යාපන අමාත්‍යාංශය වෙත හිමිවිය.

එහෙත් ඇතැම් පටු දේශපාලන මත දරන පාර්ශවකරුවන් විසින් ආනන්ද විද්‍යාලයේ කීර්ති නාමයට ද හානි පමුණුවමින් මෙම පාසලේ අදාළ ගොඩනැගිල්ල විවෘත කිරීම දේශපාලනික අරමුණක් ඉටු කරගැනීමට දරන උත්සාහයක් ලෙස සමාජගත කිරීම පිළිකුල්සහගත ය. ආදි ආනන්දීයන් ලෙස සහ දෙමව්පිය එකමුතුව නමින් පෙනී සිටින අදාළ කණ්ඩායම් සැබවින්ම එවැනි නියෝජිතයන් නොවන අතර, ඔවුන් දේශපාලන රැස්වීම් සඳහා පෙනී සිටිමින්, දේශපාලන මත සමාජගත කිරීම වෙනුවෙන් තැනින් තැන පවත්නා උත්සව අවස්ථා සඳහා සම්බන්ධ වන අවස්ථාවාදීන් පිරිසකි.

 එමෙන් ම  ආනන්ද විද්‍යාලයෙන් ගුරු මාරු ක්‍රියාවලිය යටතේ වෙනත් පාසල් වෙත මාරුකර යවන ලද ගුරුවරුන්, දේශපාලන රැස්වීම් මෙහෙයවන නිවේදකයින් ඇතුළු පිරිස එක්තරා පක්ෂයක අපේක්ෂකයෙකු වෙනුවෙන් ජාතියේ සංස්කෘතික උරුමයක් වන මෙවන් අධ්‍යාපන ආයතනයක කීර්ති නාමය විනාශ කරන්නට දරන උත්සාහය නින්දිත ය. වසර හතරහමාරක් වැනි කෙටි කාලයක් තුළ මෙරට අධ්‍යාපනයේ සිදුකරන ලද විප්ලවීය වෙනස ඉවසනු නොහැකි ව,  කුහක දේශපාලනය කරපින්නාගෙන ජනතාව වෙත අසත්‍යය පතුරවමින් මෙම දැවැන්ත සංවර්ධන කාර්යයන් ලඝු කරන්නට තැත් කරන්නන් ඉදිරියටත් මෙවැනි ම නිර්ලජ්ජිත ක්‍රියාවන්හි නිරතවීමට ඉඩ ඇති බැවින් ඒවායින් ජනතාව ප්‍රවේශම් වීමට වගබලාගතයුතුව ඇත.

Search