නවතම පුවත්

පාසල් පදනම් කරගනිමින්Z-scoreක්‍රමවේදයෙන් සිසුන් ඇතුළත් කළහොත් දේශපාලන බලපෑම් පවා සිදුවිය හැකියි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් පාසල් පදනම් වූ නව විද්‍යාත්මක Z-score ක්‍රමවේදයෙන් විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දුනහොත් දේශපාලන බලපෑම් පවා ඇතිකළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය, නිතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ අද ( 07) දහවල් පැවැති විශේෂ මාධ්‍ය සාකාච්ඡාවේදී ය.

“ දිස්ත්‍රික්ක පදනමින් විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනිමේ දී එක් දිස්ත්‍රික්කයක ප්‍රධාන හා  ජනප්‍රිය පාසලට සමාන්තරව දුෂ්කර පාසල්වල සිසුන්ට ඇතිවන අසාධාරණය ඉවත් කිරීම සඳහා පාසල් පදනම් කරගෙන  නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දිම ද කළ යුත්තේ? එසේ නැත්නම් දුෂ්කර පාසල් ක්‍රමය නැතිකර ඒවා දියුණු පාසල් මට්ටමට ගෙනඒම දැයි මෙරට ජනතාවගෙත් මා අහන්න කැමතියි. දුෂ්කර පාසල් හැමදාම ඒ තත්ත්වයෙන් ම තබා ගැනීමට මේ ගොල්ලෝ කැමති බවයි, පෙනි යන්නේ ”

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අධ්‍යාපනය පිළිබඳ සදහන් වී ඇති කරුණු දෙස බැලූ විට පුදුම හිතෙන බවත් අධ්‍යාපනඥයින් හෝ අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ සාමාන්‍ය දැනුමක් ඇති කෙනෙකුට වුවත් එහි ඇති බරපතලකම හා ගැටලු සහගත බව හඳුනා‍ගත හැකි නිසා එවැනි කරුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන්නේ නැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“ මේ ප්‍රකාශනය හදන විට අධ්‍යාපනඥයෝ  නම් ළඟින්වත් ඉදලා නැහැ” යි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාසල් පදනම් කරගත් නව විද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ දුෂ්කර පාසල් ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් එම මැතිවරණ ප්‍රකාශනයෙහි සඳහන් යෝජනා පිළිබඳ ව වැඩි දුරටත් කරුණු දැක් වු අමාත්‍යවරයා එවැනි නව විද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනිමට යාමේ බරපතලකම ගැන පෙන්වා දෙමින් එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර විශ්ව විද්‍යාල ප්‍රවේශය සිසුන්ට ලබා දුනහොත්, දේශපාලන බලපෑම් පවා ඇති කිරීමට පිළිවන්බව ද වැඩිදුරටත් පැවසීය.

“මේ ගොල්ලන්ට බලයට එන්න බැරිවෙන නිසා හොඳයි, නැත්නම් බලයට ආවොත් අප මේ හදාගෙන යන අධ්‍යාපන පද්ධතිය කඩා වැටෙනවා” යැයි ද  අමාත්‍යවරයා පැවසීය.

දුෂ්කර පාසල් වෙනුවට සියලු පාසල් වලට සමානව භෞතික හා මානව සම්පත් ලබා දී දියුණු පාසල් පද්ධතියක් ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල වුව ද පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව පෙනී යන්නේ දුෂ්කර පාසල් ක්‍රමය තවදුරටත් පවත්වාගෙනයාම ඔවුන්ගේ අරමුණ වී තිබෙන බව යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපනඥයන් ප්‍රමුඛ විද්වත් පිරිසකගේ නායකත්වයෙන් නිර්ණායක සකස් කොට වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක කරන ලද Z-score ඉතා හොඳ විද්‍යාත්මක ක්‍රමයක් බවත් විපක්ෂයේ සිටිය දී පවා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලද බවත් පැවසූ අමාත්‍යවරයා පාසල් පදනම් කර ගනිමින් Z-score ක්‍රමයක් සකස් කිරීම සඳහා දුෂ්කර පාසල් උදෙසා නිර්ණායක සකස් කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටිය දී විද්‍යාත්මක පුහුණවක් ලබා දී ගුරුවරුන් ගුරු වෘත්තිකයන් ලෙස පාසල් පද්ධතියට ඇතුළත් කිරීම පිණිස අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කරන ලද බව පෙන්වා දුන් අමාත්‍යවරයා,  අධ්‍යාපන විද්‍යා පීඨ, විශ්ව විද්‍යාල පීඨ බවට පත්කර උපාධියක් ලබා දුන් පමණින් ගුරු වෘත්තීය සම්බන්ධ ප්‍රශ්නය නොවිස‍ඳෙන බවත් විද්‍යා පීඨ ඔස්සේ ගුරු පුහුණුව මෙන් ම ඔවුනට උපාධි ලබා ගැනීම සඳහා ද අවස්ථාව අවුරා නැති බවින් විද්‍යා පිඨ විශ්ව විද්‍යාල පීඨ බවට පත්කිරීමේ යෝජනාව පුදුම සහගත බවත් සඳහන් කළේය.

ගුරු සහායක සහයිකාවන් 50,000ක් බඳවා ගැනීම සඳහා  ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාව ගැන ද අමාත්‍යවරයා  සඳහන් ක‍ළේ, පසුගිය රාජපක්ෂ ආණ්ඩුව ගුරු සහායකයින් බඳවාගෙන අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය අඩුකරන ලද බවයි.

අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සඳහා 2015 වසරට පෙර සිදුකරන ලද ආකාරයට දේශපාලන ලයිස්තුවෙන් වැඩ බලන විදුහල්පතිවරුන් පත්කිරීම වැනි  ක්‍රම වෙනුවට, විභාග පවත්වා සුදුස්සන් බඳවා ගැනීම තමා අධ්‍යාපන පදවියට පත් වු පසු ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

“ බස් ඩිපෝ වලට විවිධ කාර්මිකයන් 50,000ක් බඳවා ගන්නා ආකාරයට පාසල් සඳහා ගුරුවරුන් 50,000ක් බඳවා ගත නොහැකියි. ගුරුවරුන් බඳවා ගැනිමට විධිමත් ක්‍රමයක් තිබෙනවා. එම ක්‍රමයෙන් තොරව ගුරුවරුන් බඳවා ගත නොහැකියි.  වැරදිමකින් හෝ එම කණ්ඩායම බලයට පත්වුවහොත් අධ්‍යාපනය වෙනුවෙන් මේ දක්වා අප සිදුකරන ලද දේ ගඟට කැපූ ඉණි බවට පත්වෙනවා. මේ කියන විදිහට කටයුතු කළහොත් වසර 13ක  සහතික කරන ලද අධ්‍යාපනය ද අහෝසි කිරීමට ඉඩ තිබෙනවා “යැයි  ද අමාත්‍යවරයා කීවේය.

“රටට හා වැඩ ලෝකයට ගැලපෙන දැනුම පදනම් කරගත් සමාජයක් බිහි කිරීමට අවශ්‍ය තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. එහෙත් එම මැතිවරණ ප්‍රකාශනයෙන් තැත් කරන්නේ නැවත වැඩවසම් යුගයකට යාම සඳහායි.”

Search