නවතම පුවත්

තිස්සමහාරාමය සහ පොළොන්නරුවේ පුරාවිද්‍යා කැණිම් කටයුතුවලින් වටිනා පුරාවස්තු රැසක් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන සහ පුරාවස්තු හඳුනාගැනීම සහ සංරක්ෂණය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ විශේෂ උපදෙස් හා මඟපෙන්වීම් මත මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ මේ වනවිට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකව පවතිනවා.

මේ යටතේ, පසුගිය වසරේ කැණීම් කටයුතු ආරම්භ කරන ලද තිස්සමහාරාමය, යටාල ආසනඝරයේ කැණීම් කටයුතු මේ වනවිට අවසන්වෙමින් පවතින අතර, එහි දී පැරණි බදාම සහිත ගඩොල් බැම්මක්, කැණීම් හරහා හමු වූ ප්‍රධාන ගොඩනැගිල්ලට අමතර තවත් කුඩා ගොඩනැගිල්ලක්, මැටි බඳුන් කොටස්, යබොර කොටස්, බදාම කොටස්, ටෙරාකොටා ගණයට අයත් පබළු, වීදුරු පබළුවක්, මෙන්ම විශේෂිත යකඩ නිර්මාණයක කොටසක් ද හමුවී තිබෙනවා.

පොළොන්නරුව දෙමළ මහා සෑයේ සිදුකෙරෙන කැණීම් කටයුතු මඟින් කලුගල් ඇතුරුමක් මේ වනවිට හමුව ඇති අතර මවුපාෂාණය හමුවන තෙක් ඉදිරි කැණීම් කටයුතු ක්‍රියාත්මක වෙනවා. පසුගිය මාර්තු මස සිට ආරම්භ කෙරුණු පොළොන්නරුවේ මහතලාකොළවැව ප්‍රතිමා ගෘහය ආශ්‍රිත පරිශ්‍රයෙන් උලුකැට කැබලි, වළං කැබලි පුරා වස්තු ලෙස හඳුනාගන ඇති අතර කැණීම් කටයුතු තවමත් ක්‍රියාත්මකයි. මේ අතර පොළා‍න්නරුව ශිව දේවාලයේ සිදුකළ පර්යේෂණ ඇසුරෙන් පබළු, කුඩා වළලු කැබලි, වළං කටු කැබලි, ප්‍රමාණ පුවරු, උලු කැබලි ස්තරයක් මේ වනවිට හමුව ඇති බවයි, පර්යේෂකයින් සඳහන් කරන්නේ.

Search