නවතම පුවත්

උසස් පෙළ හැදෑරීම සඳහා ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරගන්නා ක්‍රමවේද පිළිබඳ වාර්තාවක් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යවරයා නියෝග කරයි

අ.පො.ස. (සා.පෙළ) සමත් ව උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් පාසල්වලට ඇතුළත්වන සිසුන් එම පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවල දී ඔවුන්ට ලකුණු ලබා දීමේ ක්‍රමවේදයන් හා පාසල මගින් එම සිසුන්ගෙන් අයකර ගන්නා මුදල් පිළිබඳ සවිස්තර වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ඒ, ඇතැම් පාසල්වල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ආකාරය හා සිසුන්ගෙන් මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුවයි. උසස් පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ පාසල් මට්ටමින් සිදු කරන අතර සිසුන්ගේ විභාග ප්‍රතිඵලයන්ට අමතරව ඔවුන් විෂය සමගාමී හා ක්‍රීඩා ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන්ගේ දක්වන ලද දක්ෂතා ද මෙහි දී සලකා බැලෙනවා. ඒ අනුව ඉහළ සාමාර්ථ ලබා ගත් දක්ෂ දරුවන්ට උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් පාසලකට ඇතුළත්වීමේ හැකියාව උදාවන අතර උසස් පෙළ සඳහා තමන් හැදෑරීමට බලාපොරොත්තුවන විෂයන් තමා අධ්‍යාපනය ලබන පාසලේ නොමැති අවස්ථාවල දී වෙනත් පාසලකට ඉල්ලුම් කිරීමේ හැකියාව ද සිසුන්ට පවතිනවා. කෙසේ වෙතත් එලෙස පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවල දී සිසුන්ට නිසි සාධාරණය ඉටුවනවා ද යන්න ගැන තව දුරටත් කරුණු සනාථ කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අදාළ වාර්තාව කැඳවීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව උසස් පෙළ හැදෑරීම සඳහා පාසල්වලට ඇතුළත්වන සිසුන්ගෙන් අයකර ගන්නා ගාස්තු සම්බන්ධ තොරතුරු පිළිබඳව ද අදාළ වාර්තාවට කරුණු ඇතුළත් විය යුතු බවටයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ. පාසල් මට්ටමින් අනුමත කරවා ගත් පහසුකම් ගාස්තුවලට අමතරව පාසලේ සංවර්ධන කටයුතු සඳහා යම් මුදලක් අය කර ගන්නේ නම් එය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හෝ පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් අනුමත කරවා ගත යුතුයි. එසේ නොමැතිව පාසල් සිසුන්ගෙන් මුදල් එක් රැස් කිරීමට කිසිදු බලයක් පාසල් බලධාරීන්ට පැවරී නොමැත. මේ පිළිබඳව යම් පැමිණිලි වේ නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ 1988 ක්ෂණික ඇමතුම් අංකයෙන් අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද ජනතාවට ලබා දී තිබෙනවා.

Search