නවතම පුවත්

“බලලෝභි වෘත්තීය සමිති දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ගෙන යන විරෝධතා කණගාටුවෙන් යුතුව හෙළා දකිනවා ඔවුන්ට ඇත්තේ බලලෝභය මිස අන්කිසිවක් නොවේ”

බලලෝභී දේශපාලකයන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීමට වෘත්තීය සමිති මෙතෙක් අහිංසක රෝගීන් බිල්ලට ගත් පරිදි පාසල් දරුවන්ගේ අනාගතය ද අඳුරට ඇද දැමීම සඳහා ඇතැමුන් දරන උත්සාහය තරයේ හෙළා දකින බවත් රටට ආදරය කරන කිසිදු වෘත්තිකයකු මෙවැනි ඊනියා විරෝධතාවන් සඳහා සම්බන්ධ නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

මේ මගින් අසාධාරණයට ලක්වන්නේ සමස්ත ජනතාවගේ ම දරුවන් බැවින් ජනතාව මෙම අසාධාරණයට එරෙහිව නැගීසිටීමට පියවර ගත යුතු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය සමයේ ඇති වූ අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයත්, ඩෙංගු උවදුර ව්‍යාප්තවීම සහ වෛරස් උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානම් තත්වයන් හමුවේ වුව ද සුදුසු විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම වළක්වා ගැනීමට පියවර ගනු ලැබුවේ පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කරදීම රජය වගකීමක් ලෙස සැලකූ නිසා බව ද අවධාරණය කළා.

අද රාජ්‍ය බලය ගිලිහී ඇති එවකට දුර්දාන්ත ලෙස රට පාලනය කළ කණ්ඩායම් මෙරට තුළ SAITM වැනි නිසි නියාමනයක් නොමැති පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පියවර ගත් බව සිහිපත් කළ අමාත්‍යවරයා එම විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන දරුවන් අපහසුතාවයට පත් නොකිරීමට සහ පසුගිය රජය විසින් සිදු කළ අවිධිමත් ක්‍රියාකාරකම් තුළින් ජනතාවට ඇතිවන ගැහැට වළක්වාලමින් රට විධිමත් මාවතකට අවතීර්ණ කිරීම සඳහා වත්මන් රජය කැප වී කටයුතු කරන බව ද සිහිපත් කළා. ඊට එරෙහිව බලලෝභී කණ්ඩායම් ඊනියා විරෝධතා මවාපාමින් ජනතාව නොමඟ යැවීමටත්, අහිමි වී ගිය බලය නැවත අත්පත් කරගැනීමටත් ජනතාව පීඩාවට පත්කරමින් නිරර්ථක උත්සාහයක යෙදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා එම කණ්ඩායම් පරාජයට පත්කරමින් රට දියුණුවට ගෙන යාම සඳහා මෙරට බහුතර ජනතාව පෙරමුණ ගෙන ඇති බව ද සඳහන් කළා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ "ශ්‍රී ලංකාවේ පුස්තකාල සංවර්ධනය සඳහා තිරසාර ජාල පද්ධතියක් ගොඩනැගීම" (Building Sustainable Network for the Development of Libraries in Sri Lanka) තේමාව යටතේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 27වන සංවත්සර උත්සවයේ අද (04) පැවති සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

මෙහිදී දිවයිනේ තෝරාගත් දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවල පුස්තකාල (පාසල්/මහජන) සඳහා රු.15,000/-ක වටිනාකමින් යුත් පොත් කට්ටල 100ක් පරිත්‍යාග කිරීම සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ මුද්‍රණ අනුග්‍රහය ලද ලේඛක/ලේඛිකාවන් වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය ද අධ්‍යාපන අමාත්‍යතුමන් අතින් සිදු කෙරුණා.

මීට අමතරව 2016 ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් සංවිධානය කරන ලද රචනා තරගයේ ත්‍යාග ප්‍රදානය, දෘශ්‍යාබාධිත පාඨක ප්‍රජාව වෙත පොත පත කියවීමට උපකාර කරගත හැකි ඩේසි කථන පිටපත් යන්ත්‍ර පරිත්‍යාග කිරීම, ජාතික පුස්තකාලය පිළිබඳ අත්පොත එළිදැක්වීම, ග්‍රාමීය පුස්තකාල සංවර්ධන වැඩසටහන යටතේ හක්මන ඇල්ලෙවෙල කනිටු විදුහල් පුස්තකාලය සඳහා සංවර්ධන ආධාර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්. ඒ . අබේසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Search