නවතම පුවත්

වර්තමාන රජයට කිසිදු රාජ්‍ය සම්පතක් විකිණිමේ අවශ්‍යතාවයක් නැහැ - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

“රට සංවර්ධනය කිරීම සඳහා සියලු රටවල් සමග මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුව කටයුතු කිරීමට යහපාලන රජයට හැකි වී තිබෙනවා”

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රැකියා දස ලක්ෂයක් ඇති කිරීමේ සහ රට සංවර්ධනය කරා රැගෙනයාමේ මාර්ගයට අවතීර්ණ කිරීමට වර්තමාන රජයට හැකි වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ සඳහා කටයුතු කිරීමේ දී පසුගිය වසර දහයක කාලය තුළ නිසි සැලසුමක් හා කළමනාකරණයක් නොතිබීම හේතුවෙන් ඇති වුණු ගංවතුර, කුණු කඳු කඩාවැටීම, ආයුධ ගබඩා පිපිරීම වැනි ව්‍යසන සඳහා මෙන් ම මෙරටට ඔරොත්තු නොදෙන තරම් අති විශාල ණය බරකට ද මුහුණ දීමට රජයට සිදු වූ බව පැවසූ අමාත්‍යවරයා මෙම තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දී රටට අහිමිව තිබූ ජී.එස්.පී.ප්ලස් බදු සහනය ලබාගැනීමට ද වර්තමාන රජයට හැකි වූ බව වැඩි දුරටත් සඳහන් කළා.

පසුගිය රජය සමයේ මෙන් මෙරට සම්පත් සින්නකරව විදේශීය සමාගම් වෙත විකිණිම වෙනුවට ලෝකයේ සෑම රටක් සමග ම මිත්‍රශීලීව කටයුතු කර රට සංවර්ධනය කිරීම සඳහා එම රටවල්වල සහය ලබාගැනීමට යහපාලන රජයට හැකි වූ බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ අනුව ලොව රටවල් රැසක සමාගම් සමගින් ආයෝජන සිදු කිරීමටත් ඒ හරහා මෙරට තරුණ තරුණියන්ට රැකි රක්ෂා උත්පාදනය කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ කුලියාපිටිය නගරශාලාවේ දී පසුගිය (06) දා පැවති දසවන ජාත්‍යන්තර ෂොටෝඛාන් කරාටේ ශූරතා විවෘත තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

Search