නවතම පුවත්

ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් විශේෂ වැඩසටහනක්

මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර මේ වනවිට ජාත්‍යන්තර සංවිධාන හා ආයතන, රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන මෙම කටයුත්තට දායකත්වය දක්වමින් සිටියි . ශ්‍රී සම්බුද්ධ චරිතය හා බොදු සිතුවිලි හා බුද්ධාලම්භන ප්‍රීතිය ඉස්මතු වන ආකාරයට නිර්මාණ ඉදිකිරිම මේ වනවිටත් ආරම්භ වී ඇත.

මැයි මස 10 වනදා සිට 14 වනදා දක්වා පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපයට යාබදව එක්සත් ජාතීන්ගේ වෙසක් කලාපයේ ඉදිකිරීම් ද මේ වන විට සිදුවෙමින් පවතී. කලාපීය බෞද්ධ රටවල් 10 ක සහභාගිත්වයෙන් ඉදිවන මෙම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් කලාපය තුළ ඒ ඒ රටවල්වල බෞද්ධ අනන්‍යතාව විදහා දක්වන පරිදි නිර්මාණ ඉදිරිපත් කරනු ලබයි . අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලට මෙම ජාත්‍යන්තර වෙසක් කලාපය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලාංකීය බෞද්ධ පිළිබිඹුව ප්‍රදර්ශනය කිරීම පැවරී තිබේ.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ උපදෙස් හා මෙහෙයවීම මත මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දියවන්නාව ආශ්‍රය කරගනිමින් පුරාණයේ බෞද්ධාගමින් පෝෂණය වූ වැවයි- දාගැබයි ,ගමයි ,පන්සලයි සංකල්පය තේමාකරගනිමින් ඓතිහාසික අනුරාධපුර භූ දර්ශනය මෙම ස්ථානයේ ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුම් කර ඇත. මෙහිදී විශේෂිත ආලෝක රටා හා විශේෂ ප්‍රයෝග භාවිත කරමින් බුද්ධාලම්භන ප්‍රීතිය ඉස්මතුවන ආකාරයේ සජීවීකරණයක් මෙම ස්ථානයට පැමිණෙන සියලු ජනතාවට දැකබලා ගැනීමේ හැකියාව උදාවනු ඇත. අඩි සියයක් පමණ උසකින් යුත් දාගැබක් මෙම ස්ථානයේ ප්‍රතිනිර්මාණය කෙරේ . නිර්මල ථේරවාදී බුදුදහම ශ්‍රී ලාංකේය ජන සමාජය සුපෝෂණය කරමින් ගලා ගිය ආකාරය මේ තුළින් වඩාත් ඔප් නැංවීමට නියමිතයි . මෙම ජාත්‍යන්තර වෙසක් කලාපය තුළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ගෙනහැර දක්වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසිනි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ උපදෙස් හා මෙහෙයවීම මත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවන මෙම නිර්මාණකරණය මධ්‍යම සංස්කෘතික අරමුදල වෙනුවෙන් බටලිය ජාතික අනුරූ පාසල හා අපේ ගම ව්‍යාපෘතිය විසින් සිදුකරනු ලබයි.

මීට අමතරව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධාන ශක්ති‍යෙන් අරලියගහ මන්දිරය ආශ්‍රිතව පවත්වනු ලබන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපයෙහි විශේෂිත නිර්මාණ ඉදිරිපත් කිරීමක් සඳහා ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ උපදෙස් හා මෙහෙයවීම මත මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කටයුතු යොදා ඇත.

Search