නවතම පුවත්

දෙවන පාසල් වාරය අප්‍රේල් 26 ඇරඹේ. පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමට හා පවතින උණුසුම් සහිත කාලගුණයට මුහුණ දීමට සිසුන් දැනුවත් කරන ලෙසට පාසල් ප්‍රධානීන්ට උපදෙස්

දෙවන පාසල් වාරය සඳහා අප්‍රේල් මස 26 වන බදාදා පාසල් ආරම්භ කෙරේ.

නිරෝගී සුරක්ෂිත දරු පරපුරක් පාසල් පද්ධතිය තුළින් බිහි කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යය වන බැවින් පාසල් පරිසරයේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමට දෙවැනි පාසල්වාරය ආරම්භයත් සමඟ කටයුතු ‍කරන ලෙස සියලු විදුහල්පතිවරුන් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව, දෙමව්පියන්, ආදිශිෂ්‍ය ප්‍රජාව,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, පළාත් පාලන ආයතන නිලධාරීන්ගේ ද සහාය ලබාගනිමින් පාසල් පරිසරය මදුරුවන්ගෙන් හා කසලවලින් තොර පරිසරයක් බවට තහවුරු කර ගැනීම හා ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට විදුහල්පතිවරුන් ක්‍රියාත්මක විය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටිනවා. මේ වන විටත් මේ සම්බන්ධ ක්‍රියාමාර්ග සෑම පාසලක ම පාහේ ගෙන ඇති වුවත් පාසල් ආරම්භ කෙරෙන 26 වන දින තවදුරටත් මෙම කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අවශ්‍ය පිළියම් යොදා දරුවන් වෙනුවෙන් සුරක්ෂිත පාසල් පරිශ්‍රයක් පවත්වාගෙන යාහෙම් අවශ්‍යතකාවය අමාත්‍යාංශය මෙහි දී අවධාරණය කරනවා.

පවත්නා අධික උණුසුම් සහිත කාලගුණික තත්වය නිසා ඇතිවන අපහසුතා වළක්වාගැනීමට පාසල් සිසුන් විශේෂයෙන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීම අවම කිරීමටත්, ජලය පානය කිරීමට සිසුන් යොමු කරවීම වැඩි කිරීමටත්, හිරු රශ්මියට ඔරොත්තු දෙන පරිදි හිස්වැසුම්, කුඩ ආදිය භාවිතයට පෙළඹවීමටත් විදුහල්පතිවරුන් විසින් ක්‍රියාකිරීම අපේක්ෂා කෙරෙනවා.

පානීය ජල පහසුකම් ලබා දීම සඳහා පාසල්වල පිහිටුවා ඇති ජල ටැංකිවල පවිත්‍රතාවය පිළිබඳව විශේෂ අවධානය යොමුකරන ලෙස අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට අවධාරණය කරන අතර පාසල් ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් හා පාසල් පරිශ්‍රය ආකර්ශණීය සහ සුරක්ෂිත පරිසරයක් බවට පත්කරගැනීමට විදුහල්පතිවරුන් විසින් පාසල් මට්ටමින් අඛණ්ඩ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා.

අදාළ තත්වයන් පාසල් දරුවන්ට සිදු කරන බලපෑම පිළිබඳ කරුණු සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද(24) දහවල් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා. එහි දී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර ඒ අනුව සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යාංශවල අදාළ සියළු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමට ද තීරණය කර තිබෙනවා. එමෙන් ම මෙම කටයුතු පිළිබඳව සෘජුව අධික්ෂණය කිරීමට මෙන් ම මේ පිළිබඳව තමා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

Search