පසුගිය කාලයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු අඩාලව පැවතීම හේතුවෙන් මතුව තිබූ ගැටලු විසඳීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් හැකි වූ අතර අමාත්‍යවරයාගේ උපදෙස් මත පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථානවල ගවේශණ හා සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීමට ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකි වී තිබෙනවා.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 ක් ආවරණය වන පරිදි පසුගිය දිනවල සිදු කළ ශිලාලේඛන හඳුනාගැනීමේ වැඩසටහනකින් මෙරට අතිශය වැදගත් හා මෙතෙක් කිසිවෙකු විසින් සොයා නොගත් ශිලා ලේඛන රැසක් හමු වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන මෙන්ම ශිලාලේඛන ද බහුල ලෙස පවතින නමුත් නිධන් මංකොල්ලකරුවන් විසින් මෙම පුරාවිද්‍යා ස්ථාන මෙන්ම ශිලා ලේඛන ද විනාශ කිරීම සිදු කරයි. එම නිසා නව ශිලා ලේඛන සොයා පිටපත් කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් පසුගිය දිනවල අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව පදියතලාව, දමන, එරගම, උයන, ලාහුගල, මහඔය සහ අම්පාර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ශිලාලේඛන 61 ක් මේ වන විටත් පිටපත් කර අවසන්.
මෙම සෙල්ලිපි හඳුනා ගැනීමේ කඩිනම් ව්‍යාපෘතිය යටතේ හමු වූ සුවිශේෂී ශිලා ලිපියක් ලෙස මොල්ලිකුලම් සෙල්ලිපිය හඳුනාගත හැකි අතර එය අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පාලමුනේ ග්‍රාම නිලධාරී වසමේ මොල්ලිකුලම් නම් පුරාවිද්‍යා රක්ෂිතය තුළ ගල් පර්වතයක කොටා තිබෙනවා. මෙම ශිලා ලිපිය අපර බ්රාහ්මීය අක්ෂරයෙන් ලියා ඇති අතර ක්‍රි.ව. 2 - 3 සියවස් අතර කාලයට අයත් බව සැලකෙනවා.
මෙම සෙල් ලිපියෙහි පේළි 04 ක් ඇති අතර ලිපියෙහි දිග මීටර් 3 ක් පමණ ද, පළල සෙන්ටිමීටර් 69 ක් පමණ ද වන මෙම ශිලා ලේඛනයෙන් විහාර ප්රතිසංස්කරණයක් සඳහා කහවනු පිදීමක් පිළිබඳව කියවෙනවා. එනම් “මකිලිය නම් අමාත්‍යයාගේ පුත් කුඩමති නැමැත්තෙකු විසින් මුදගිරික නම් විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙන්ම චෛත්‍යයෙහි පැවැත්ම හා නඩත්තුව සඳහා කහවනු සතලිසක් පූජා කළ... ” බවයි. මෙහි එන ”ජිනපටිසතරිය” යන්නෙන් විහාර ප්‍රතිසංස්කරණය අදහස් වන අතර ක්‍රි.ව. 01 වන සියවසට අයත් වසභ රජුගේ පෙරුමියම්කුලම ගිරි ලිපියේ මෙන්ම වෙනත් ශිලා ලේඛන කිහිපයකම මෙම ”ජිනපටිසතරිය” යන වචනය දක්නට ලැබෙන බව මේ පිළිබඳ පර්යේෂණයේ නිරත පුරාවිද්‍යාඥයින් සඳහන් කරනවා.