නවතම පුවත්

සිසු දරුවන්ට ජීවිතය සාර්ථක කරගැනීමට යා හැකි මාර්ග පිළිබඳ අවබෝධයක් ලබාදිය යුතුයි. - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

විභාගයෙන් තමන් අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබීම නිසා ජීවිතය හානි කරගන්නවාට වඩා සිසු දරුවන්ට තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට යා හැකි මාර්ග රැසක් විවෘතව පවතින බවත් ඒ සඳහා ඔවුන් දැනුවත් කිරීමට දෙමාපියන් හා ගුරුවරුන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (29) සවස අපේ ගම පරිශ්‍රයේ දී පැවති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන සංචාරයක නිරත වූ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් එම අධ්‍යාපන සංචාරයේ ලද අත්දැකීම් අමාත්‍යවරයා හමුවේ හුවමාරු කරගැනීමට සංවිධානය කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින්.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට සිසු දරු දැරියන් තල්ලු කරදැමීමේ වගකීම අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින්, ගුරුවරුන් හා දෙමාපියන් බාරගත යුතු බව පැවසූ අමාත්‍යවරයා මේ වන විට සිසුන්ට මානසික පීඩනයක් බවට පත් වී ඇති විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනස් කිරීමත් ගුණගරුක හා ආත්ම විශ්වාසයෙන් යුක්ත පුරවැසියන් රටට දායාද කිරීමත් අරමුණු කර අධ්‍යාපන පද්ධතිය ප්‍රති ව්‍යුහගත කිරීමට පියවර රාශියක් ක්‍රියාත්මක කරමින් සිටින බව ද සඳහන් කළා.

එසේම අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල කුමක් වුවද අ.පො.ස. (උ.පෙළ) හැදෑරීමට මේ වසරේ සිට සිසු දරුවන්ට අවස්ථාවන් නිර්මාණය කර දීම සඳහා නව විෂයන් 26 ක් ජාතික අධ්‍යාපන ආයතනය විසින් හඳුන්වා දී ඇති අතර සිසුන්ට තමන්ගේ සුදුසුකම් අනුව අභිමත විෂයන් තෝරාගෙන හැදෑරීමට හැකියාව පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (29) උදේ කුරුණෑගල රණවිරු සේවා ජාතික පාසලේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ තෝමස් අල්වා එඩිසන් වැඩ බැරි සිසුවකු ලෙස පාසලේ ගුරුවරුන් විසින් සැලකු නමුත් නව නිර්මාණ දහසකට වඩා අධික ප්‍රමාණයකට පේටන්ට් බලපත්‍ර හිමි කරගැනීමට ඔහු සමත් වූ බවයි. එසේම තොමස් අල්වා එඩිසන් විදුලි බල්බය සොයාගැනීමට පෙර ඒ ගැන සිදු කළ පර්යේෂණ දහස් ගණනක් අසාර්ථක වුවත් ඔහු එයින් අධෛර්යට පත් නොවී කටයුතු කළ නිසා සාර්ථකත්වයට පත්වීමට හැකි වූ බව සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, අධෛර්යට පත් නොවී කටයුතු කිරීමට සිසු දරුවන් තුළ ආකල්ප ගොඩනගා ගත යුතු බවත් ඒ සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා දෙමාපියන් මග පෙන්විය යුතු බවත් පැවසුවා.

ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහළ සාමාර්ථයන් ලබාගැනීමට 2016 වසරේ අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට හැකි වීම පිළිබඳ තමා සතුටුවන බව මෙහිදී පැවසූ අමාත්‍යවරයා පළාත් අධ්‍යාපන සැලසුම් කෙරේ අවධානය යොමු කරමින් පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපන පද්ධතියේ සිදු කළ ගුණාත්මක වෙනස්කම් ඒ සඳහා ඉවහල් වී ඇති බව ද සිහිපත් කළා.

Search