නවතම පුවත්

විනය විරෝධීව හැසිරෙන පාසල් සිසුන් සම්බන්ධයෙන් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට නියෝග කරයි

පාසල් ක්‍රිකට් තරග සහ වෙනත් අවස්ථාවලදී විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව තමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට නියෝග කර තිබෙනවා. අමාත්‍යවරයා මේ නියෝගය නිකුත් කරනු ලැබුවේ පසුගිය දා කොළඹ ප්‍රදේශයේ බාලිකා පාසලකට බාලක පාසල් කීපයක සිසුන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල් වීමේ සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරමින්.

පාසල් ක්‍රිකට් තරග හා වෙනත් කටයුතු වලදී මහජනතාවට පීඩාවන පරිදි විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් ගුරුවරුන්, දෙමාපියන් හා මහජනතාවගෙන් ලද මැසිවිලි ද සලකා බලමින් විනය කඩ කරන පාසල් සිසුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා. මීට අමතරව පාසල්වල සිදුවන විනය විරෝධි සිදුවීම් හැකිතාක් අවම කිරීම සඳහා පියවර ගන්නා ලෙසත් මෙවැනි සිදුවීම් ඇති නොවීම සඳහා පොලීසිය සමග සහයෝගීව කටයුතු කරන ලෙසටත් අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම ඇතැම් විනය විරෝධී කටයුතු සඳහා පාසල්වල ආදි ශිෂ්‍යයන් ද සම්බන්ධ වන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති අමාත්‍යවරයා තම පාසලේ කීර්තිනාමය ආරක්ෂා කිරීමේ වගකීම ආදී ශීෂ්‍යයන්ට ද පැවරී ඇති බව අවධාරණය කර සිටිනවා.

Search