නවතම පුවත්

සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරග මාර්තු 25 දින මීගමුවේ දී හා 30 දින රත්නපුරේ දී

වර්තමානයේ විභාග කේන්ද්‍රීය මානසිකත්වය මත දෙමාපියන් දරුවන් හා ගුරුවරුන් ක්‍රියා කිරීම නිසා දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල වී ඇති බැවින් ඉදිරියේදී එම තත්වයන් වෙනස් කිරීමට වහාම කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) සවස කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පැවති සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ , ක්‍රීඩාවක නිරතවීම මගින් සමබර පෞරුෂයක් පාසල් දරුවන් තුළ ඇතිවන අතර ජය පරාජය උපේක්ෂා සහගතව විඳ දරා දරාගැනීමට මෙන් ම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමට ද දරුවන් හුරුවන බවයි. එසේම එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය ප්‍රායෝගිකත්වය ක්‍රීඩාව තුළින් ලැබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

පාසල් දරුවන් තුළ සමබර පෞරුෂයක් මෙන් ම මනා ශාරීරික නීරෝගීතාවයක් පවත්වාගෙන යාමේ ජීවන පුරුදු ප්‍රචලිත කිරීම සඳහා විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ඒකකයට උපදෙස් ලබා දී තිබෙන අතර ඒ අනුව විශේෂ වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.

ළමයින්ගේ චාලක හැකියාවන් වර්ධනය වීමට මනා පිටිවහලක් මලල ක්‍රීඩාවන් හරහා ලැබෙන අතර එම නිසා ලෝකයේ බොහෝ රටවල් ළමා මලල ක්‍රීඩා පැවැත්වීම කෙරේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ඒකකය මගින් සංවිධානය කර පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා තරගාවලියේ මූලික තරග පසුගිය වර්ෂයේ දී පවත්වනු ලැබූ අතර 2016 වර්ෂයේ දී 3 ශ්‍රේණියේ දරුවන් සඳහා පැවැත්වූ එම ක්‍රීඩා ඉසව් වල අවසන් තරග මාර්තු මස 25 දින මීගමුව මාරිස්ටෙලා විදුහලේ දී සහ 2016 වර්ෂයේ දී 4 ශ්‍රේණියේ දරුවන් සඳහා පැවැත්වූ ක්‍රීඩා ඉසව් වල අවසන් තරග මාර්තු මස 30 දින රත්නපුර සීවලී විදුහලේ දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය සඳහා නෙස්ලේ ලංකා සමාගම අනුග්‍රහය ලබා දී තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර, ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ මංජුල කාරියවසම් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා නෙස්ලේ ලංකා සමාගමේ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.

Search