නවතම පුවත්

පාරම්පරික කලාව පිළිබද දැනුම පාසල් විෂය මාලාවට ඇතුලත් කිරීමට පියවර ගන්නවා - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

වෙස් මුහුණු කර්මාන්තය, ලී කැටයම්, පිත්තල සහ ලෝහ වැඩ ඇතුළු විවිධ පාරම්පරික කර්මාන්ත හරහා අතීතයේ සිට ගොඩනැගී තිබුණු ජාතික උරුමයක් අප සතුව පැවති බවත් ඒවා නගාසිටුවීම කාලීන අවශ්‍යතාවක් බවත්, අධ්‍යාපනය තුළින් නව ලොවකට පා නඟන අතරතුර එම පාරම්පරික වටිනාකම් ද ආරක්ෂා කරගැනීමට අප විසින් පියවර ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද (06) අපේ ගම පරිශ්‍රයේ පවත්වන ලද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශිල්ප සභාවත් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒකාබද්ධව පවත්වනු ලබන ශිල්ප නවෝදා ජාතික කණිෂ්ඨ හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමින්.

අධ්‍යාපන පද්ධතියෙහි සුවිශේෂ වෙනස්කම් රාශියක් මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති අතර, ඒ අනුව වෘත්තීමය විෂයයන් 26ක් පමණ ඉදිරියේ දී පාසල් විෂය මාලාවට එකතු කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ පිළිබඳ ඉදිරියේ දී දැනුවත් කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් පාසල් දරුවන්ට ලබා දීම හරහා සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන සිසුන් 120000ක් පාසල තුළ රඳවාගන්නට හැකිවන බවත්, පාසල් විෂය මාලාව තුළ ශිල්පීය කුසලතා වැඩිදියුණු කළ හැකිවන අන්දමේ නව විෂයයන් සඳහා ඉදිරියේ දී හඳුන්වාදීමට නියමිත විෂයයන්වල දී ප්‍රමුඛතාව ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

න්‍යායාත්මක විෂයයන් සඳහා එතරම් දක්ෂතා නොදක්වන එහෙත් ක්‍රියාකාරකම් පාදක විෂයයන් සඳහා වැඩි දක්ෂතා දක්වන සිසුදරුවන්ට මේ හරහා තම ශිල්පීය කුසලතා පාසල් මට්ටමේ දී සංවර්ධනය කරගන්නට අවස්ථාව සැලසෙන බවත් අමාත්‍යතුමන් වැඩිදුරටත් සඳහන් කළා. පාසල් විෂය මාලා සකස් කිරීම සම්බන්ධව සෘජුව කටයුතු කරන ජාතික අධ්‍යාපන ආයතනය මේ සදහා සෘජුවම කටයුතු කිරමින් සිටින බවද අමාත්‍යතුමන් ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදින්, ජාතික ශිල්ප කලා සභාවේ සභාපති හේෂානි බෝගොල්ලාගම ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Search