නවතම පුවත්

අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ වි‍ශේෂ උපදෙස් මත දඹුලු බිතුසිතුවම් විධිමත්ව සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ වෙයි

ලෝක උරුමයක් වන ඓතිහාසික දඹුල්ල ලෙන් විහාරයේ සිතුවම් නිසි අයුරින් සංරක්ෂණය කිරීමක් පසුගිය වසර 10ක කාලයක් තුළ සිදු කොට නොමැතිවීමෙන් 300කට අධික බිතුසිතුවම් විනාශයට පත් වෙමින් පැවතුණා. මේ සම්බන්ධව සුවිශේෂ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුනු අතර, එහි සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (11) දඹුල්ල රජමහා විහාර පරිශ්‍රයේ දී පැවැත්වුණා.

පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත සීගිරි බිතුසිතුවම් පරීක්ෂා කිරීමට පැමිණි ඉතාලි ජාතික විශේෂඥයින් දඹුලු ලෙන් විහාරයේ බිතු සිතුවම්ද පරීක්ෂාවට ලක්කර ඇති අතර ඔවුන්ගේ ද නිගමනය වී ඇත්තේ කෘමීන්ගෙන්, පුස් බැඳීමෙන් හා දිය සෙවල බැඳීමෙන් සිතුවම්වලට හානි සිදුවී තිබෙන අතර මෙම චිත්‍රවල පුරාවිද්‍යා වටිනාකමට හානි සිදුවීමේ අවදානමක් ද මතු වී තිබෙන බව පෙන්වා දෙනු ලැබීම ද මෙම සංරක්ෂණ කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කිරීමට හේතුවක්.

මෙම අවස්‍ථාවට ම‍ධ්‍යම සංස්කෘතික අරමුදලේ අ‍‍‍ධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන, පුරා විද‍‍්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Search