නවතම පුවත්

සීගිරිය නැරඹීමට සංචාරක ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ නිකුත්කිරීම පෙබරවාරි 11 දින සිට ඇරඹේ

වසර 2,700 ක් පැරණි සංරක්ෂණය කරන ලද ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය විවෘත කෙරෙයි
වසර 10 ක් තිස්සේ නිසි සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය නොකළ දඹුලු බිතුසිතුවම් සංරක්ෂණයට විධිමත් පියවර

මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ කටයුතු සඳහා විධිමත් හා විද්‍යාත්මක ක්‍රමවේදයන් හදුන්වාදීමටත්, නවීන තාක්ෂණය හා නවීන උපකරණ භාවිතා කිරීමටත්, ඇතිවන අවශ්‍යතා අනුව විදේශීය විශේෂඥ උපදෙස් ලබාගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් හා මග පෙන්වීම ලබා දී තිබෙනවා. එසේම අතීත පෞරාණික උරුමයන් මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමට මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ද මෙම ආයතන මගින් සිදු කරනවා. 

මේ අතර දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂ අවධානය යොමු වූ ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමේ දී ඇතිවන අපහසුතා සහ තදබදය වළක්වාලීමේ අරමුණින් සහ සංචාරක පහසුකම් අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් අන්තර්ජාලයෙන් අදාළ ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව තාක්ෂණය උපයෝගී කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සීගිරියේ ස්ථාපිත කර ඇති සංචාරක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම් මධ්‍යස්ථානය 2017 පෙබරවාරි 11 දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කරන මෙම ප්‍රවේශ පත්‍ර මාස තුනක කාලයක් සඳහා වලංගු වනවා. විශේෂයෙන් ම සංස්කෘතික වටිනාකමක් සහිත ස්ථානයන් නව තාක්ෂණය සමඟ බද්ධ කරමින් විදේශීය සංචාරකයන්ට මෙරටට පැමිණීමට පෙර අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර ඇණවුම් කිරීමේ පහසුව සලසාදීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ තාක්ෂණික සහය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ලබා දී තිබෙනවා.

වසර 2,700 ක් පැරණි සංරක්ෂණය කරන ලද ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය විවෘත කෙරේ.

දශක කිහිපයක් තිස්සේ දේශීය හා විදේශීය පුරා විද්‍යාඥයින්ගේ නොමඳ අවධානයට පත් වූ වසර 2,700 ක් පැරණි මෙගලිතික යුගයේ මහා ශිලා සුසාන භූමියක් ලෙස හඳුනාගෙන ඇති ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය වසර කිහිපයක් තිස්සේ විනාශ වෙමින් පැවතුණා. මේ පිළිබද විශේෂ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උරුම කළමනාකරණ වැඩසටහනක් ලෙස මෙය සංරක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ අනුව අධ්‍යාපනය සංචරණය සංරක්ෂණය සහ ප්‍රජාව යන මූලික තේමාවන් ඔස්සේ මෙහි සංවර්ධන කටයුතු 2015 වසරේ සිට දියත් කෙරුණා.

ඒ අනුව සංරක්ෂණය කරන ලද ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය සංචාරකයන් සඳහා විවෘත කිරීම 2017-02-11 වන දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පාසල් පෙළපොත්වල ඉබ්බන්කටුව මෙගලිතික සුසානභූමිය පිළිබඳව විෂය කරුණු ඇතුළත්ව ඇති අතර ඉදිරියේ දී පාසල් දරුවන්ට ද අධ්‍යාපනික අවශ්‍යතා මත මෙම ස්ථානය නැරඹීමට හැකියාව උදාවෙනවා. එසේම දේශීය හා විදේශීය සංචාරකයන‍්ට නැරඹීමට හැකි පරිදි අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතව මෙම ස්ථානය සකස් කර ඇති අතර සංචාරකයින්ගේ පැමිණිම මගින් ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන ග්‍රාමීය ජනතාවට සෘජු හා වක්‍ර ආදායම් මාර්ග රැසක් ද උත්පාදනය වනු ඇති.

වසර 10 ක් තිස්සේ නිසි සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය නොකළ දඹුලු බිතුසිතුවම් සංරක්ෂණයට විධිමත් පියවර
ලෝක උරුමයක් වන ඓතිහාසික දඹුල්ල ලෙන් විහාරයේ සිතුවම් නිසි අයුරින් සංරක්ෂණය කිරීමක් සිදු වී නැහැ. නොකිරීම හේතුවෙන් විනාශවෙමින් පැවතුන අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ සඳහා අවධානය යොමු කර බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එහි සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2017.02.11 දින සිදු කිරීමට නියමිතයි.

පුරා වසර 10ක කාලයක් තිස්සේ මෙම සිතුවම් නිසි පරිදි සංරක්ෂණය කිරීමක් සිදුවී නැහැ. මේ අතර පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත සීගිරි බිතුසිතුවම් පරීක්ෂා කිරීමට පැමිණි ඉතාලි ජාතික විශේෂඥයින් දඹුලු ලෙන් විහාරයේ බිතු සිතුවම්ද පරීක්ෂාවට ලක්කර ඇති අතර ඔවුන්ගේ ද නිගමනය වී ඇත්තේ කෘමීන්ගෙන්, පුස් බැඳීමෙන් හා දිය සෙවල බැඳීමෙන් සිතුවම්වලට හානි සිදුවී තිබෙන අතර මෙම චිත්‍රවල පුරාවිද්‍යා වටිනාකමට හානි සිදුවීමේ අවදානමක් ද මතු වී තිබෙන බවයි.

Search