නවතම පුවත්

ගරු අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ නිදහස් දින පණිවුඩය

සංහිඳියාව තුළින් ශක්තිමත් වන නිදහස් අනාගතයක් සඳහා පෙළගැසෙමු

මෙවර අප සමරන්නේ 69 වෙනි ජාතික නිදහස් දිනයයි. අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව ඉන් මුදාගනිමින් නිදහස උදාකර දීමට සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ඇතුළු සියලු ජනවර්ගවලට අයත් ශ්‍රී ලාංකික ජනතාව සිදු කළ මෙහෙය අද දිනයේ දී අප ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය.

නිදහස ප්‍රායෝගික සත්‍යයක් වන්නේ යුතුකම් හඳුනන සහ ක්‍රියාවට නංවන, අයිතිවාසිකම් ආරක්ෂා වන, වගකීම් සහ වගවීම් නිවැරදිව දරන්නා වූ සමාජයක් නිර්මාණය වීමෙනි. එවන් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් රටක අධ්‍යාපන පද්ධතියට පැවරෙන වගකීම ද සුළුපටු නොවේ. අධ්‍යාපනය නිදහස් අයිතියක් ලෙස සුරක්ෂිත වී ඇති රටක ජීවත්වන අප ඒ වෙනුවෙන් උරදුන් එහි නිර්මාතෘවර ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිඳුන් ද මේ අවස්ථාවේ ගෞරවපූර්වකව සිහිපත් කළ යුතුමය. එතුමන්ගේ අප්‍රතිහත කැපවීමෙන් අදටත් ශ්‍රී ලංකාවේ සියලු දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව නිදහස් අයිතියක් ලෙස භුක්ති විඳීමේ අවස්ථාව සැලසී තිබෙයි.

නිදහස යථාර්ථයක් වන්නේ වෙනත් කෙනෙකුගෙන් එය උරුම කරගැනීමෙන් නොව, ‍යථාර්ථවත් ලෙස නිදහස භුක්ති විඳීමෙනි. මෙරට දූ දරුවන් අද අත්විඳින නිදහස් අධ්‍යාපන අයිතිය තවදුරටත් පුළුල් කිරීමටත් තහවුරු කිරීමටත් ඇපකැපවීම අපගේ වගකීමයි. ඒ වෙනුවෙන් ගත හැකි හා ගත යුතු ඕනෑම තීරණයක් ගැනීමේ දී හුදු ජනප්‍රියත්වය වෙනුවට වඩාත් ජනතාවාදී වෙමින් එම තීරණ ගැනීම අපගේ අභිලාෂයයි.

එමෙන් ම, නිදහස නිදහසේ භුක්ති විඳින්නට රටක් වශයෙන් අප අත්පත්කර ගත යුතු තවත් බොහෝ දේ පවතියි. සාක්ෂාත් කරගත යුතු බොහෝ ඉලක්ක පවතියි. එය තහවුරු වන්නේ නීතිය, යුක්තිය හා සාධාරණය මෙන් ම මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන සමාජයක් බිහිකිරීම තුළිනි. ඒ වෙනුවෙන් කැපවීම රජයේ අරමුණයි. රටේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස නිවැරදි දැක්මක් සහිතව දරුවන්ගේ හෙට දවස ප්‍රභාමත් කිරීමේ ජාතික වගකීම පෙරදැරිව අප යන ගමනට සැබෑ ශක්තියක් එක්කරන ලෙසත්, සියලු හදවත්වල යහපත් අපේක්ෂාවන් නිදහසේ මල්පලගන්වන්නට සාමූහිකව එක්වන ලෙසත් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට සහෘද සිතින් ඇරයුම් කරමි.

අකිල විරාජ් කාරියවසම්
අධ්‍යාපන අමාත්‍ය

Search