නවතම පුවත්

කොළඹ රාජකීය විදුහලට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවන්ට සම්බන්ධ නිලධාරීන්ගේ රාජකාරී වැඩ තහනම්

කැළණිය ධර්මාලෝක විදුහලේ විදුහල්පතිවරයා සහ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරියක් ඒ අතර, කොළඹ රාජකීය විදුහලේ පළමු ශ්‍රේණියට 2017 වර්ෂය සදහා සිසුන් ඇතුළත් කිරීමේ දී ඇති වී තිබෙන අක්‍රමිකතාවන් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පත් කළ විශේෂ විමර්ශන කමිටුව මගින් සිදු කළ විමර්ශනවලින් පසු ප්‍රධාන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි නිලධාරීන් තිදෙනෙකුගේ හා අභියාචනා මණ්ඩලයේ සිටි නිලධාරීන් සිව් දෙනෙකුගේ රාජකාරී වැඩ තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

රාජකාරී වැඩ තහනම් කළ පිරිස අතරට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ කටයුතු කළ කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු, සහකාර විදුහල්පතිවරයකු හා ගුරුවරයකු සිටින අතර, අභියාචනා මණ්ඩලයේ කටයුතු කළ කැළණිය ධර්මාලෝක විදුහලේ විදුහල්පතිවරයා, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරියක්, කොළඹ රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු සහ ගුරුවරයකු ද ඇතුළත් අතර මේ සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

මීට අමතරව කොළඹ රාජකීය විදුහලට තම දරුවා ඇතුළත් කිරීමට කූඨ ලේඛන ඉදිරිපත් කළ එම පාසලේ සේවයේ නිරත පාසල් කම්කරුවකුගේ වැඩ තහනම් කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ජනප්‍රිය පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ දී අක්‍රමිකතාවන් රැසක් සිදු වී ඇති බවට විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කළ පැමිණිලි සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නියෝග මත මෙම විමර්ශන ක්‍රියාත්මක වුණා. කොළඹ රාජකීය විද්‍යාලයට අමතරව තවත් ජනප්‍රිය පාසල් 15 ක් සම්බන්ධ විමර්ශන මේ වන විට ආරම්භ වී ඇති අතර වරදකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Search