නවතම පුවත්

ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය සඳහා ඩිජිටල් සිනමා ශාලාවක් සහිතව නව සංකීර්ණයක් ඉදිකිරීමට මුල්ගල තබයි

ලෝකයේ සිදුවන ශීඝ්‍ර වෙනස්කම් හඳුනාගෙන ඊට අදාළව සෑම ක්ෂේත්‍රයක ම වෙනස්කම් සිදුකිරීමට පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ ඊයේ (08) පෙරවරුවේ කොළඹ 07 පිහිටි රාජ්‍ය චිත්‍රපට සංස්ථා පරිශ්‍රය තුළ ඉදිකෙරෙන ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය සඳහා ඉදිකරන නව සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින්.

ජනතා අභිලාෂයන් ඉටුකරමින් යහපාලන රජය පිහිටුවා වර්ෂ දෙකක් සමරන අද දවස වන විට දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව පැවසූ අමාත්‍යවරයා, විශිෂ්ට කලාකෘති නිර්මාණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට වර්තමාන රජය කටයුතු කරන බව ද ප්‍රකාශ කළා. නව රජය යටතේ කලාකරුවන් ඇතුළු සියලු දෙනා භුක්ති විඳින නිදහස නැති කිරීමට හෝ ඒ සඳහා බාධාවන ආකාරයෙන් කටයුතු කිරීමට රජයට කිසිදු අපේක්ෂාවක් නැති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළා.

ඩිජිටල් තාක්ෂණය හා අනාගතය ගැන අවධානය යොමු කරමින්, චිත්‍රපට සම්බන්ධව මෙන් ම නාට්‍ය හා ප්‍රසංග කෙරෙහි ද සැලකිලිමත් වෙමින් නව නීති රීති සහිතව රැඟුම්පාලක මණ්ඩල පනත පරිච්චින්න කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය සඳහා ඉදිකරන නව සංකීර්ණය ඉදිකිරීම සඳහා රජය රු.මි.50 ක් වෙන් කර තිබෙනවා. මෙම සංකීර්ණය තුළ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ප්‍රේක්ෂකයින් සියයකට පමණ අසුන්ගත හැකි අති නවීන ඩිජිටල් පහසුකම් සහිත සිනමා හලක් ඉදිකෙරෙන අතර, ඩිජිටල් සහතික ලබා දීම ද මෙම සංකීර්ණය තුළ දී සිදු කිරීමට අපේක්ෂිතයි. එමෙන්ම බාහිර පුද්ගලයන්ගේ අවශ්‍යතා මත චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන ශාලාව වෙන් කර ගත හැකි අතර සම්මාන උළෙලවල විනිශ්චය මණ්ඩල සඳහා ද මෙම ශාලාව වෙන් කරවා ගැනීමේ හැකියාව පවතිනවා.

මෙම උත්සව අවස්ථාවට ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, රජයේ චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න ඇතුලු නිලධාරීන් සහ ප්‍රවීණ කලාකරුවන් රැසක් එක්ව සිටියා.

Search