නවතම පුවත්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු හා දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ මූලික සුදුසුකම් පරීක්ෂා කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී

2009 හා 2010 වර්ෂයන්හි දී විදුහල්පති සේවයේ iii ශ්‍රේණියට බඳවාගත් නිලධාරීන් ii ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන ලේඛන පරීක්ෂාව 2017 ජූනි මස 2, 5, 6 සහ 12 යන දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ. ඒ සඳහා අයදුම්පත් යොමු කර ඇති සංඛ්‍යාව 1056 කි.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ii ශ්‍රේණියේ නිලධාරීන් i ශ්‍රේණියට උසස් කිරීම සදහා වන මූලික සුදුසුකම් පරික්ෂා කිරීම ද 2017 ජූනි මස 6,13,15,16,20 සහ 22 යන දිනයන්හි දී අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වේ. මේ සඳහා අයදුම්කරුවන් 1912 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතයි. මේ වන විටත් ඔවුන්ට අදාළ කැඳවීම් ලිපි යොමු කිරීමට අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ උසස්වීම් සිදුකිරීමේ ක්‍රියාවලිය පසුගිය සමයේ නිසි අයුරින් සිදු නොවූ බවට ලැබී ඇති තොරතුරු අනුව, අදාළ උසස්වීම් ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන් ම වසර ගණනාවක් තිස්සේ සංශෝධනය නොවූ විදුහල්පතිවරුන්ගේ දීමනා ඇතුළු අධ්‍යාපන නිලධාරීන් සඳහා සහන රැසක් සැපයීමට ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ වන විට කටයුතු යොදා තිබෙනවා. දේශපාලනීකරණය වී තිබූ ගුරුපත්වීම් හා විදුහල්පති පත්වීම් ලබා දීම වෙනුවට නිසි තරග විභාග පවත්වා සුදුස්සන් සුදුසු තනතුරුවල පිහිටුවීම සඳහා ද මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

කෙසේ වෙතත් අමාත්‍යාංශය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ගන්නා වැදගත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තරයෙන් තොරතුරු ලබාගන්නා ඇතැම් වෘත්තීය සමිති එම ඉල්ලීම් දිනාගැනීම සඳහා යැයි පවසමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් නොමග යවමින් විවිධ විරෝධතා සඳහා සහභාගි කරවාගැනීමේ සිදුවීම් රැසක් ද පසුගිය සමයේ වාර්තා වූ අතර අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ගේ සුභසාධනය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ තම වෘත්තීය සමිතියේ ජයග්‍රහණයක් බව හුවා දක්වමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් මුලා කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින බව ද නිරීක්ෂණය වී තිබෙනවා.

මේ පිළිබද අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ වෘත්තීය සමිතිවල පෞද්ගලික හා දේශපාලන ඉල්ලීම් ඉටුකරනු වෙනුවට රටේ සමස්ත ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේත්, ලක්ෂ හතළිස් පහකට ආසන්න පාසල් දරුවන්ගේත් අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් තමා නිරන්තරයෙන් පෙනී සිටින බවයි.

Search