1989 වසරේ නිකුත් කරන ලද ක්‍රීඩා පාසල් පිහිටුවීමේ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය යාවත්කාලීන කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ක්‍රීඩා පාසල්වල වර්තමාන තත්ත්වය පිළිබඳව විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ක්‍රීඩා පාසල්වල විදුහල්පතිවරුන් සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (23) පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.
මීට අමතරව සක්‍රීයව පවතින ක්‍රීඩා පාසල් 18 ක කායවර්ධන ක්රීඩාගාර සකස්කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටත්, එම ක්රීඩාගාර සඳහා රුපියල් ලක්ෂ 25 ක් වටිනා කායවර්ධන උපකරණ කට්ටලය බැගින් ලබාදීමටත් කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා සියලුම ක්‍රීඩා පාසල්වල වොලිබෝල්, නෙට්බෝල් හා බාස්කට් බෝල් ක්‍රීඩා පිටි ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දුන්නා.
එමෙන් ම ක්‍රීඩා පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වෙත ලබා දෙන ශිෂ්‍යාධාර දීමනාව, අමතර පන්ති දීමනාව, ක්‍රීඩා උපදේශකවරුන් වෙත ලබා දෙන දීමනා සහ ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් සඳහා ලබා දෙන දීමනාවන් ඉහළ දැමීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් ද පත් කරනු ලැබුවා. ක්‍රීඩා පාසල්වලට නවක සිසුන් බඳවාගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවීමට මෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත ක්‍රීඩා පාසල්වලට නවක සිසුන් බඳවාගැනීමේ ක්‍රියාවලිය විධිමත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද මෙම කමිටුවේ නිර්දේශ අනුව සිදුකිරීමට මෙහි දී තීරණය කළා. මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් තිදෙනෙකු සහ ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් සිව්දෙනෙකු ඇතුළත්වනවා.
සමබර පෞරුෂයක් සහිත නීරෝගී ප්‍රජාවක් පාසල් පද්ධතිය තුළින් සමාජගත කිරීම අරමුණු කර ගනිමින් 2017 අයවැය යෝජනා මගින් ක්‍රීඩා පාසල්වල කටයුතු සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වෙන් කර ඇති බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා, මතුවන අවශ්‍යතාව අනුව අමතර ප්‍රතිපාදන ලබා දී ක්‍රීඩා පාසල්වල සංවර්ධන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මෙම සාකච්ඡාවට සහභාගි වූ විදුහල්පතිවරයකු පැවසුවේ, විෂයභාර අමාත්‍යවරයා සහ ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් අතර වසර 20 කට පසු සාකච්ඡාවක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.
මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා සහ අතිරේක ලේකම් (පාසල් කටයුතු) අශෝක හේවගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.