හදිසියේ ඇතිවන ආපදා හේතුවෙන් සිදුවන ජීවිත හා දේපල හානි ඉහල යාමට හේතුව දිවයින පුරා පිහිටි අනතුරු සහිත කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශවල සහ අවදානම් සහිත ප්‍රදේශවල නිවාස ඉදිකිරීම හා මිනිසුන් පදිංචි වීම වැළක්වීමට නිසි පියවර නොගැනීම බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. පසුගිය රජය සමයේ මෙවැනි පදිංචිවීම් වැලක්වීමට විධිමත් පියවර නොගත් නමුත් වර්තමාන රජය ඒ සඳහා අවශ්‍ය විධිමත් පියවර ගන්නා බවත් ජනතාවට අවශ්‍ය ආරක්ෂිත වාසස්ථාන ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා මේ පිළිබඳ ජනතාව ද අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළා.
මිනිස් ක්‍රියාකාරකම්වල බලපැම ද හේතුවෙන් මෑත කාලීනව දරුණු ස්වභාවික විපත්වලට මුහුණ දීමට සිදුව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙලෙස ඇති වූ එවැනි දරුණු ස්වභාවික විපත් දෙකකට හා සාලාව ප්‍රදේශයේ ඇති වූ අවි ගබඩාව පිපිරීම, මීතොටමුල්ල සිදුවීම වැනි අනපේක්ෂිත සිදුවීම් වලට වර්තමාන රජය සාර්ථකව මුහුණ දී ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු ඉටු කළ බව ද පෙන්වා දුන්නා.
මතුව ඇති ආපදා තත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී අදහස් දක්වනු ලැබුවා.
පසුගිය දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක 8 කට බලපෑ ගංවතුරින් ආපදාවට පත් පාසල් දරුවන් විසි පන් දහසකට ආසන්න ප්‍රමාණයකට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් සහන පැකේජයක් වහාම ලබා දීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. එම පැකේජය තුළ නිල ඇඳුම් කට්ටල 3ක්, පෙළ පොත් කට්ටලයක්, සපත්තු කුට්ටමක් සහ අභ්‍යාස පොත් ඇතුළත් බව පැවසූ අමාත්‍යවරයා මීට අමතරව, ගංවතුර හේතුවෙන් විනාශයට පත්වූ විභාග සහතිකපත් ලබාදීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව ද ප්‍රකාශ කළා.
ආපදාවට ලක් වූ රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කරගනිමින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සහන වැඩපිළිවෙලට අමතරව ආපදාවට ලක් වූ ගුරුවරුන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබාදෙන ආපදා ණය සඳහා ඉල්ලුම් කිරීමේ දී ගංවතුර ආපදාවට ලක් වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙත ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගන්නා බව ද ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා රුපියල් බිලියන 2 ක් වෙන් කර ඇති බවත් ප්‍රකාශ කළා.
ගංවතුර හා සුළි සුළගින් ඇතැම් පාසල්වල ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ගැන නිසි තක්සේරුවකින් තොරව පාසල් පැවැත්වීමට නොහැකි බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව පාසල් දරුවන්ට ඇති විය හැකි අනතුරු වළක්වාගැනීමේ අරමුණින් ගංවතුරින් ආපදාවට ලක් වූ දිස්ත්‍රික්ක 8ක සියලුම පාසල්වලට ජුනි 02 වැනි සිකුරාදා වන තෙක් නිවාඩු ලබා දීමට පියවර ගත් බව පැවසුවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංජිනේරුවන් ඇතුලු තාක්ෂණික නිලධාරීන් අදාළ පාසල්වල ගොඩනැගිලිවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මේවන විටත් යොමු කර ඇති අතර ඔවුන්ගේ වාර්තා ලද විගස පාසල් ආරම්භ කිරීම පිළිබඳ තීරණය ගන්නා බව ද සඳහන් කළා.
මෙම ආපදා තත්වය හේතුවෙන් කඩාවැටුණු සහ අබලන් වූ සියලු පාසල් ඉතා ඉක්මණින් පිළිසකර කරදීමට පියවර ගන්නා බවත්, රට පුරා පාසල්වල ඇති පැරණි අනාරක්ෂිත ගොඩනැගිලි සම්බන්ධව තොරතුරු එක්රැස් කර ඒවා නැවත පිළිසකර කිරීමට හා ගොඩනැඟීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.
එමෙන්ම නැවත පාසල් ආරම්භ කළ පසු ආපදා තත්වයන් පැවති ප්‍රදේශවල දරුවන්ට පාසලට පැමිණීමේ දී නිල ඇඳුම අනිවාර්ය නොවන බව ද, පාසල් නිල ඇඳුම් වෙනුවට තමන්ට පවතින වෙනත් ඇඳුමකින් හෝ පාසල් පැමිණීමට අවසර ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තමන්ගේ වැටුප ආපදාවට පත් වූ පාසල් දරුවන්ගේ සහන කටයුතු සඳහා ලබාදීමට යෝජනා කර ඇති බවත්, සියලු දෙනාගේ එකඟතාවය හිමි වී ඇති බවත් සඳහන් කළා.