ආපදා හා දේපළ හානි අවම කරගැනීමට වගකියුතු නිලධාරීන්
නිවැරදි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධව අමාත්‍යවරයාගේ අප්‍රසාදය
ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් විමසීම සහ විනාශ වී ගිය පාසල්වල තත්වය සොයාබැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා (04) දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරය කළා.
අකුරැස්ස,මොරවක,දෙනියාය,කොටපොල,පිටබැද්දර,පාහියන්ගල ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කළ අමාත්‍යවරයා, ඔවුන්ට සහන සැලසීමට අවශ්‍ය කඩිනම් පියවර සම්බන්ධයෙන්මෙහි දී නිලධාරීන් දැනුවත් කළා.
නායයාම් සහ ගංවතුර තත්වය මත හානියට පත් මාතර තුඩගලහේන කණිෂ්ඨ විද්‍යාලය, පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලය, දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය,මොරවක මධ්‍ය මහා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක් මෙහි දී අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් වුණා.
ආපදාවන් වළක්වාගැනීම සහ දේපළ හානි අවම කරගැනීම සම්බන්ධව සියලු දෙනා වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවත්,අපරීක්ෂාකාරී ඉදිකිරීම්, අදාළ අවස්ථාවල නිවැරදි ක්‍රියාමාර්ග නොගැනීම ආදී හේතු මත මෙවැනි විපත් පාලනය කරගැනීමේ අවස්ථා මඟහැරී ඇති ආකාරය හානි සිදුව ඇති ඇතැම් පාසල් පිළිබඳ සොයාබැලීමේ දී පැහැදිලි වන බවත්, නිවැරදි මැදිහත්වීමක් මේ සඳහා ලබා නොදුන් නිලධාරීන් සම්බන්ධව තම අප්‍රසාදය පළ කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
විශේෂයෙන්ම ගංවතුර අවදානම පැවතීම හේතුවෙන් ඊට ඔරොත්තු දිය හැකි පරිදී පරිගණක විද්‍යාගාරය,පුස්තකාලය,සෞන්දර්ය ඒකකය ආදිය බිම් මහල්වල ස්ථාන ගත කිරීමෙන් වැළකී ඒසඳහා ඉහල මහල් යොදා ගන්නා ලෙසත්, විනාශ වී ගිය සහ අබලන් වූ ගොඩනැගිලි වෙනුවට නව මහල් ගොඩනැගිලි ඉදිකිරීමට පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට අවධාරණය කළා.
මීට අමතරව විනාශ වී ගිය පාසල් සඳහා පරිගණක,සෞන්දර්ය උපකරණ ඇතුළු සෙසු ද්‍රව්‍ය ලබාදීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
එක් එක් පාසල්වල භෞමික සැකැස්ම, භූගෝලීය වටපිටාව, පාසල් ගොඩනැගිලි ඉදිකර ඇති ස්වභාවය ආදිය සැලකිල්ලට ගෙන පාසලට ආවේණික ප්‍රධාන සැලැස්මක් සකස්කරගන්නා ලෙස සෑම පාසලකට ම උපදෙස් ලබාදී ඇති බව ද,ඇතැම් පාසල් ප්‍රධානීන් එම උපදෙස් නොතකාහැරීම හේතුවෙන් මෙවැනි ආපදා අවස්ථාවල දී සිදුවන හානි අවම කරගැනීමට නොහැකි වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම මෙම නිරීක්ෂණයේ දී, ළඟම පාසල-හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ඇතැම් පාසල්වල ප්රමුඛ අවශ්‍යතාවන් පසෙක ලා වෙනත් අවශ්‍යතා ඉටුකරගැනීමට ඇතැම් පිරිස් කටයුතු කිරීම ද අමාත්‍යවරයාගේ විවේචනයට ලක් වූ අතර, පිළිගත් නිර්ණායක මත ක්‍රියාත්මක ළඟම පාසල-හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසලේ පවත්නා ප්රමුඛ අවශ්‍යතා හඳුනාගනිමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද සිහිපත් කළා.