පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාය යාමේ අවදානමට ලක්ව ඇති ඓතිහාසික පාහියන් ලෙන පිළිබඳ බහු විෂයික වාර්තාවක් කැඳවීමට එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.ඒ අනුව මේ සම්බන්ධ ආයතනවලවිද්වතුන්ගේසහභාගිත්වයෙන් අදාළ වාර්තාව සකස් කිරීමේ විශේෂ සාකච්ඡාවක් සෙත්සිරිපායේ දී අද (12) පැවැත්වුණා.
ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා ප්‍රකාශ කළේ එම ප්‍රදේශය ආශ්රිත පස් ස්තරය පසුකාලීනව (එනම් වසර පනහකට හැටකට පමණ ඉහත දී) ගොඩ කරන ලද ඒවා බැවින් වර්ෂාවත් සමග එම පස් ස්තරවල ඇති ජල අංශු ප්‍රමාණය ඉහළ යාමත් ඊට සාපේක්ෂව පස්වල ස්කන්ධය ඉහළ යාමත් මෙම ඉරි තැලීමට හේතු වී ඇති බවයි. මීට අමතරව එම ස්තරයේ ස්කන්ධය වැඩිවන ආකාරයෙන් ඉදිකරන ලද පියගැට පෙළ, රුක් රෝපණ ආදීය ද මේ සඳහා යම් බලපෑමක් සිදු කර ඇති බව ද මෙහි දී සාකච්ඡා වුණා.
එසේම මෙහි දී අනාරවරණය වූයේ 2008 වසරේ සිට සියුම් ලෙස ඉරිතැලීමක් පාහියන්ගල ලෙන ඉදිරිපිට සිදු වී තිබුණු බවයි. කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයෙන් පාහියන්ගල ලෙන නාය යාමේ අවධානමක් නොමැති බවත් මෙහි දී අවධාරණය කෙරුණා.
පවතින තත්ත්වය අනුව තවදුරටත් ඇති විය හැකි අවධානම වළක්වා ගැනීම සඳහා සියලු අංශ සමග ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙම සාකච්ඡාවේ දී මතු වූ අතර පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෛනිකව පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සීමා කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.
මීට අමතරව මෙම කලාපය සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස ගැසට් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණු අතර පුරාවිද්‍යාත්මක උරුමයන් විනාශ වී යාම වළක්වා ගනිමින් තවදුරටත් අවශ්‍ය කැණීම් සිදු කිරීම සඳහා ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සහයෝගය ඇතිව, සමස්ත වාර්තාව ලැබුණු පසු විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමටත් මෙහි දී තීරණය කෙරුණා.
වසර 58,000 - 48,000අතර ප්රාග් ඉතිහාසයකට උරුමකම් කියන, ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල් ලෙන ලෙස ප්රකටව ඇති ඓතිහාසික පාහියන් ලෙන ශ්‍රී ලංකාවට මෙන් ම ලෝකයට ද පුරාවිද්‍යාත්මකව වැදගත් සාක්ෂි රැසක් ලබා දෙන ස්ථානයකි. ඒ අනුව පාහියන් ලෙන අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර දීම සඳහා කටයුතු කිරීමටත්, නියමිත සංරක්ෂණයෙන් පසු පුරාවිද්‍යා සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවත් මෙහි දී වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරුණා.
එමෙන් ම පාහියන්ගල ප්‍රදේශයේ සිදු වූ නාය යාම සහ පාහියන්ගල ලෙන ඉදිරිපිට ප්‍රදේශයේ සිදු වූ ඉරිතැලීම අතර සබඳතාවක් පවතී ද යන්න පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවධානය යොමු වී ඇති බවත් පසුගිය දා ප්‍රදේශයේ සිදු වූ නාය යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ බෑවුම් ප්‍රදේශය තුළ සිදු කර ඇති අනවසර ඉදිකිරීම්, වෙනත් බෝග වගා කිරීම හා විශාල ගස් කපා දැමීම බව ද හෙලි වුණා. ඒ අනුව පාහියන්ගල අවට ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කොට මූලික සැලැස්මක් යටතේ නාය යාමේ අවධානමට මුහුණ දීම සඳහා සකස් කිරීමේ අවශ්‍යතාවය ද මෙම සාකච්ඡාවේ දී නිලධාරීන්ගේ අවධානයට ලක් වුණා.
මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක් ව සිටියා.