රංගිරි දඹුලු විහාරය රජයට පවරා ගැනීමක් සිදුකරන්නේ නැහැ.
කිසිදු හේතුවක් වාචිකව හෝ ලිඛිතව නොදන්වා නිලධාරීන්ට ඉවත්ව යන ලෙස දැන්නුවා.
වර්තමානයේ විහාර පාර්ශවය මගින් විදේශිකයන්ට අලෙවිකරන ටිකට් පතක මිලට සාපේක්ෂව රුපියල් මිලියන 2.3 - මිලියන 2.5 ත් අතර අදායමක් දෛනිකව ලබනවා.
රංගිරි දඹුලු විහාරය තුල පිහිටි ලෙන් ගුහා සංකීර්ණයේ පුරාවස්තු සහ චිත්‍ර සංරක්ෂණ කටයුතු වල නිරතව සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ට රාජකාරීන් ඉටුකිරීම වළක්වමින් එම සංරක්ෂණ භූමියෙන් ඉවත්කිරීම සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු දැක්වීමක් අද (26) අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්වුනා.
එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සදහන් කලේ අධ්‍යාපන අමාත්‍යංශ විෂය පථයට අයත් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දඹුල්ල ලෙන් ගුහා සංකීර්ණයේ පුරාවස්තු සංරක්ෂණ කටයුතු සම්බන්ධව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයාට බලතල පැවරෙන බවත් ලෝක උරුමයක් මෙන්ම ලෝකවාසී සැමටම සුවිශේෂී වූ මෙම ස්ථානය ආරක්ෂා කිරීමත්, සංවර්ධනය කිරීමත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා මෙන්ම සමස්ත අමාත්‍යංශයේම වගකීම වන බවත්ය. එසේම මෙම පුරාවිද්‍යා ස්ථානයේ සංරක්ෂණ කටයුතු වලින් එක දිනක් හෝ බැහැර වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලට කිසිදු හැකියාවක් නොමැති බවත් අමාත්‍යංශය ලෙස මම කරුණු සම්බන්ධව රටේ මහජනතාවට වගකීමට මෙන්ම වගවීමටත් තමන් බැදී සිටින බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ වැඩබලන පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල මහතා ප්‍රකාශ කලේ ක්‍රි.පූ 1 වන ශතවර්ෂයේ සිට ක්‍රි.ව.20 පමණ කාලය තුල සිතුවම් කර ඇති වර්ග අඩි 20,000 වඩා වපසරියක විසිරී ඇති පෞරාණික චිත්‍ර ලොව අන් කිසිම තැනකදී හමු නොවන බවය. එසේම පුරාවිද්‍යා පණත ප්‍රකාරව රංගිරි දඹුලු විහාරය තුල පිහිටි ලෙන් ගුහා සංකීර්ණය ගැසට් පත්‍රයක් මගින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි. තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංරක්ෂණ නිලධාරීන් සියුම් විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කරමින් සංරක්ෂණ කටයුතුවල නිරතවෙමින් සිටින අතර පසුගිය 21 වැනිදා අනපේක්ෂිත ලෙස එම ස්ථානයෙන් පිටව යන ලෙසට විහාර පාර්ශවය විසින් කරන ලද දැනුම් දීමට පසු ඉතාම සංකීර්ණ සහ අවදානම් තත්වයක් උද්ගතව ඇත. එසේම එම දැනුම් දීම සිදුකල දින සේවයේ නියුතුව සිටි සංරක්ෂණ නිලධාරීන් එම විරෝධය නොතකා සංරක්ෂණ කටයුතු එදිනට නිම කර ඇති අතර මෙම සංරක්ෂණ කටයුතු ඇණහිටීම නිසා පුරාවස්තු විනාශවී යාමේ අවධානමක් උද්ගතවී ඇත.
මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ අපේ පෞරාණික ස්ථාන සහ උරුමය ආශ්‍රිතව ගොඩනැගී ඇති සංචාරක කර්මාන්තය හරහා අපගේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන බවය. එසේම දඹුල්ල ලෝක උරුමයක්ද? එය ලෝක උරුමයක් ලෙස අපට අවශ්‍යද? නැතහොත් අපේ උරුමයක්ද? යන කතිකාවතක් අද සමාජයේ ගොඩනැගී ඇත. මෙහිදී අප අවධානය යොමුකළ යුත්තේ ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ උරුමය සහ සංස්කෘතිය වටිනාකමක් ඇති ස්ථාන හරහා තම අනන්‍යතාවය ගොඩනගා ගනිමින් ජාත්‍යන්තරයේ අවධානය දිනාගනිමින් එම සම්පත් හරහා තම රටවල් ඉදිරියට ගෙනයන ආකාරයයි. මෙම සංරක්ෂණ කටයුතු වලට පරිභාහිරව වර්තමාන අධ්‍යාපන විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා දීප ව්‍යාප්තව ඇති පන්සල් වෙහෙර විහාර සංවර්ධනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා අපට ලැබෙන සම්පත් මෙම සත් කාර්ය වෙනුවෙන්ද වැය කරනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දඹුල්ල ලෙන් ගුහා සංකීර්ණයේ සංරක්ෂණ කටයුතු සිදුකරමින් පවතිනවා. එම කටයුතු අතර මග නතර කිරීම මගින් එම චිත්‍ර විනාශවී යාමේ අවදානමක් ඇති වෙනවා. එම නිසා නැවත කඩිනමින් සංරක්ෂණ කටයුතු අප ආරම්භ කල යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ යුනෙස්කෝ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය ප්‍රකාශ කලේ 1991 වසරේ සිට ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ ආයතනය මගින් නම් කර ඇති දඹුල්ල ලෙන් ගුහා සංකීර්ණය සංරක්ෂණය කිරීමේදී අප රටේ බලපවත්වන නීතිය ප්‍රකාරව එය සිදුකරනු ලබන අතර යුනෙස්කෝ ආයතනය මගින් දඹුල්ල ලෝක උරුමය නිසි කළමනාකරණය සම්බන්ධයෙන් පමණක් තම යෝජනා ඉදිරිපත් කර ඇත. අප එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය ලෙස අප කටයුතු කරමින් සිටියා. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය පාර්ශවය සහ විහාර පාර්ශවය එකම පාර්ශවයක් ලෙස ක්‍රියා කල යුතුයි. එසේම මෙම නිර්දේශ නොසලකා හරිමින් දිගින් දිගටම අන්තනෝමතික ලෙස යම් පාර්ශවයක් ක්‍රියා කළහොත් 2018 දී පැවැත්වෙන යුනෙස්කෝ සැසිවාරයේදී දඹුල්ල ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ඇති වෙනවා. ඇය වැඩිදුරටත් පැවසුයේ දඹුල්ල ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ ලංකා රජයේ ඉල්ලීමකට අනුව වන අතර ලෝක උරුමයක් ලෙස නම් කිරීම මගින් දඹුල්ල අපේ අයිතියෙන් කිසිදු බැහැර කිරීමක් යුනෙස්කෝ ආයතනය මගින් සිදු කර නොමැති බවයි.
මෙම මාධ්‍ය සාකච්චාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් නිලධාරීන් ප්‍රකාශ කලේ,
මාධ්‍යවේදියා: රජය විසින් මෙවැනි කර්තව්‍යයන් සිදුකෙරෙමින් පවතින අතරතුරදී මෙම කටයුතු වලට ඇයි විහාර පාර්ශවයෙන් බාධා කලේ? මෙම දඹුල්ල විහාරය රජය පවරගන්න සුදානමක් තිබ්බද?
වැඩබලන පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල: නැහැ එහෙම කිසිදු යෝජනාවක් තිබුනේ නැහැ මෙම විහාරය රජයට පවරා ගන්නවා කියල. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එහෙම ඉඩම් පවරාගන්න බැහැ. ඉඩම් පවරගන්න රජයේ වෙනම ක්‍රමවේදයක් තියනවා. එහෙම පන්සල පවරාගැනීමක් සම්බන්ධයෙන් කිසිදු දිනක අපි ප්‍රකාශ කරලා නැහැ. රංගිරි දඹුලු විහාරය රජයට පවරා ගැනීමක් සිදුකරන්නේ නැහැ.
මාධ්‍යවේදියා:
කොච්චර අදායමක් ලැබෙනවද දඹුල්ලෙන් සංචාරක ව්‍යාපාරය හරහා?
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන:
අපේ පර්යේෂණ කණ්ඩායම පසුගිය මාර්තු මාසේ දින තුනක නියැදියක් ලබාගෙන සාමාන්‍යයෙන් දෛනික ගණනය කිරීමක් කළා. මාර්තු මාසේ සාමාන්‍යයෙන් සංචාරකයන් පැමිණීම ඉතාම අඩු කාල සීමාවක්. නමුත් ඒ කාලයේදීත් වර්තමානයේ රංගිරි දඹුලු විහාරය මගින් විදේශිකයන්ට අලෙවිකරන ටිකට් පතේ මිලට සාපේක්ෂව රුපියල් මිලියන 2.3 - මිලියන 2.5 ත් අතර අදායමක් දිනකට ලබනවා. මේ මුදල අපේ ගණනය කිරීම් වලට අනුව එකතුවන අවම මුදල. සැබෑ මුදල මීට වඩා බොහෝ වැඩි විය හැකියි.
මාධ්‍යවේදියා:
සංරක්ෂණ කටයුතු වලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලට ඉවත් වෙන්න කිව්ව හේතුව මොකද්ද?
වැඩබලන පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල:
අපිට කිසිම හේතුවක් වාචිකව හෝ ලිඛිතව දන්වා නැහැ. විහාර පාර්ශවයෙන් සංරක්ෂණ කටයුතු වලින් ඉවත් වෙන්න විතරයි කියල තියන්නේ.
මෙම මාධ්‍ය සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, වැඩබලන පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ යුනෙස්කෝ ශාඛාවේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සහභාගී වුනා.