දඹුලු ලෙන් විහාරයේ බිතුසිතුවම් විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව තිබීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා විසින් ද සිදු කළ දැනුම් දීම් මත ඒ සඳහා මැදිහත් වෙමින් අදාළ සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බවත්, එම විහාරස්ථානය පවත්නා තත්වය යටතේ ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමට ලක්ව ඇති බවට යුනෙස්කෝ ආයතනය විසින් අනතුරු අඟවා ඇති බැවින් තමා ඒ සඳහා මැදිහත් වූ බවත්, එවැනි මැදිහත්වීම් සිදුකරන විට ඇතැම් පිරිස් විසින් බහිරවයා යැයි තමාට චෝදනා කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.
කවුරුන් කෙතෙක් චෝදනා කළත් රටේ උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බහිරවයෙක් ලෙස කටයුතු කරන්නට තමන් සූදානම් බව අද (03) පෙරවරුවේ ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයෙහි අභිනවයෙන් ඉදිකළ පස්මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.
රටේ අධ්‍යාපනය නඟා සිටුවීමේ වගකීම ඉටු කිරීම තම ප්‍රධාන අරමුණ බවත්, ඒ වෙනුවෙන් එක් එක් ආයතන ප්‍රධානීන් මඟින් ඉටුවිය යුතු වැඩ කොටස නිසියාකාරව ඉටු කරදීම අත්‍යවශ්‍ය වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා. හිතවත්කම්, දේශපාලන මතිමතාන්තර මත තමා කිසිවිටෙකත් තීන්දු තීරණ නොගන්නා බවත්, තමන් දරන තනතුරෙහි වගකීම නිසියාකාරව ඉටු නොකරන නිලධාරීන් ඉවත් කිරීමට කිසිසේත් පසුබට නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
බොරුවෙන් සහ වංචාවෙන් ජනතාව නොමඟ යවමින් කටයුතු කළ ඇතැම් දේශපාලකයින් නිසා රටක් වශයෙන් ශීඝ්‍ර දියුණුවක් කරා යාමට අපට තවමත් නොහැකි වී ඇති බවත්, කෙතෙක් බාධා සහ අභියෝග පැමිණියත් රටට වැඩදායී යමක් ඉටු කිරීම තමන්ගේ අරමුණ බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.
මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන් මහතා , ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ජයන්ති ගුණසේකර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.