ශ්‍රී ලාංකික ඓතිහාසික උරුමය අනාගත පරපුර වෙත සුරක්ෂිත ව තිළිණ කර දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත දිවයින පුරා පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුක්ත ස්ථාන සංරක්ෂණයට මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කඩිනම් වැඩපිළිවෙළක් සකස් කර මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටී. මේ අතර විනාශවී යාමේ අවදානමට ලක් ව තිබූ වයඹ පළාත තුළ පිහිටි හඳුනාගත් බිතු සිතුවම් සංරක්ෂණ කටයුතු කිහිපයක් 2016 වර්ෂයේ දී ආරම්භ කළ අතර, මේ වන විට එම ස්ථානවල සංරක්ෂණ කටයුතු ද අවසන් කර තිබේ.
බුළුපිටිය ශී‍්‍ර සුගතාරාම පුරාණ විහාරය
කුරුණෑගල මීගමුව මාර්ගයේ උහුමීය, බුළුපිටිය ග්‍රාමයේ පිහිටා ඇති ශී‍්‍ර සුගතාරාම පුරාණ විහාරය මහනුවර යුගයේ ඉදිකරන ලද්දකි. මෙම විහාරයේ මහනුවර යුගයට අයත් බිතුසිතුවම් හා පිළිම නිර්මාණ දක්නට ඇති අතර එම සිතුවම් මතින් පසුකාලීනව නැවත සිතුවම් ඇඳීමක් ද සිදුකර ඇත. මෙම ස්ථානයේ කඩා වැටී තිබූ බුදු පිළිම සහ දේව පිළිම නැවත ප්‍රතිනිර්මාණය කිරීමත් කඩා වැටී ඉවත් කර තිබූ විෂ්ණු දේව පිළිමය පැරණි සාධක අනුව නැවත ගොඩ නැංවීමත් සිදු කර ඇති අතර විනාශ වී තිබූ බුදු පිළිමය තිබූ ස්වරූපයෙන් පැරණි තාක්ෂණය අනුව නැවත ප්‍රතිනිර්මාණය කර තිබේ. එසේ ම කඩා වැටීමට ආසන්නව තිබූ බුදු පිළිමයක් නැවත සවි කිරීමත් විනාශ වී තිබූ සිතුවම් සහිත සිවිලිම් ලෑලි ශක්තිමත් ව ස්ථාපිත කර ගැළවී යමින් තිබූ එම ලෑලිවල ඇඳී සිතුවම් ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ද මේ වන විට අවසන් කර ඇත.
පහළ බලදොර සුගතාරාම ටැම්පිට විහාරය
එසේම පඬුවස්නුවර ව්‍යාපෘතියට අයත් කුරුණෑගල හලාවත මාර්ගයේ හාතාපොළ හන්දියේ සිට කොබෙයිගනයට යන මාර්ගයේ කි.මී. 10 ක් පමණ දුරින් පහළ බලදොර ග්‍රාමයේ පිහිටා ඇති සුගතාරාම ටැම්පිට විහාරය මහනුවර යුගයේ දී ඉදිකරන ලද ටැම්පිට විහාරයකි. මහනුවර යුගයට අයත් සිතුවම් සහ පිළිම නිර්මාණවලින් සමන්විත මෙම විහාරයේ නිර්මාණවලට වේයන් විසින් සිදු කරන ලද හානි හේතුවෙන් දැඩිලෙස විනාශ වී තිබිණි.
විහාරයේ සිතුවම් ඇඳ තිබූ වරිච්චි බිත්තියේ දැව කොටස් දිරාපත් ව තිබූ අතර සංරක්ෂණ කාර්යයේ දී එම සිතුවම් සහිත බදාමය කොටස් වශයෙන් නියමිත තාක්ෂණ ක්‍රම භාවිතා කර සුරක්ෂිතව ගලවා ඉවත් කර වරිච්චි බිත්තිය නැවත සකසා ඉවත් කළ සිතුවම් කොටස් නැවත බිත්තියට සුරක්ෂිතව සවිකර ප්‍රතිනිර්මාණය කිරීම සිදුකර ඇත.
කිනිගම සුගතාරාම විහාරය
මීට අමතරව මහනුවර යුගයට පසු කාලීන ශෛලියේ සිතුවම් සහ පිළිම දක්නට ලැබෙන බිංගිරිය කිනිගම සුගතාරාම විහාරය මීට වසර 70 කට පමණ පෙර ඉදිකරන ලද්දක් සේ සැලකේ. මෙම විහාරය කුරුණෑගල හලාවත මාර්ගයේ බෝවත්ත හන්දියේ සිට කොබෙයිගනේ මාර්ගයේ කිනියම ග්‍රාමයේ පිහිටා ඇත. මෙම විහාරස්ථානයේ විනාශ වී තිබූ පිළිම ප්‍රතිසංස්කරණය කිරීමත් පසුකාලීන ව නොගැළපෙන ලෙස සවිකර තිබූ සිංහ රූපයේ කොටස් නිසි පරිදි ස්ථාපනය කිරීමත් සිදු කර ඇති අතර විනාශ වී යමින් තිබූ සිතුවම්වල වර්ණ කොටස් යළි සකස්කර පෙර තිබූ පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත.