ප්‍රශ්නපත්‍රය සකස් කළ බාහිර විද්වතුන්ගෙන් සමන්විත
ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලය ඉවත් කෙරේ
රාජ්‍ය පරිපාලන සේවයේ විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය අවලංගුකොට නැවත ඒ සඳහා විභාගයක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ පුෂ්පකුමාර මහතාට නියෝග කළා.
පසුගිය දා පැවති රාජ්‍ය පරිපාලන විවෘත තරග විභාගයේ ප්‍රශ්න පත්‍ර 05 අතරින් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ අඩංගු වූ ප්‍රශ්න කිහිපයක් පසුගිය ප්‍රශ්න පත්‍ර කිහිපයකින් උපුටාගත් බවට තොරතුරු ලැබී තිබූ බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග කොමසාරිස්වරයාට උපදෙස් ලබා දෙනු ලැබුවා.
ඒ අනුව, අදාළ විමර්ශන වාර්තාව ද සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙනවා. එමෙන් ම මීට අදාළ ප්‍රශ්නපත්‍රය සකස් කළ බාහිර විද්වතුන්ගෙන් සමන්විත ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලය ද විභාග කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා.
ඒ, විභාග දෙපාර්තමේන්තුව ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සමඟ අද සිය නිල කාර්යාලයේ දී පැවති රැස්වීමකින් අනතුරුවයි. විභාග කටයුතුවලට අදාළ රහස්‍යභාවය ආරක්ෂා කිරීම, ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සහ ඊට අදාළ උත්තර පත්‍ර සකස් කිරීම, පරිගණක පද්ධතිවල රහස්‍යභාවය ආදී කරුණු රැසක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් නිලධාරීන් සමඟ කරුණු සාකච්ඡා කළා.
විභාග සම්බන්ධයෙන් ජනතාව තුළ පවත්නා විශ්වසනීයත්වය හා පිළිගැනීම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වගකීමෙන් යුක්තව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ අමාත්‍යවරයා, යම් නිලධාරියෙකු එම වගකීම පැහැර හරින්නේනම් තරාතිරම නොබලා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද සිහිපත් කළා.