පාසල් ක්‍රීඩාව නංවාලීම සඳහා ක්‍රීඩාව පිළිබඳ ප්‍රායෝගික භාවිතයක් ඇති දක්ෂ ක්‍රීඩකයින් 3850 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස නුදුරේ දී ම අධ්‍යාපන පද්ධතියට බඳවාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඉදිරියේ දී පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
ඇතැම් පිරිස් නුදුරේ දී බඳවාගැනීමට නියමිත ක්‍රීඩා පුහුණුකරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලකරමින් සිටින බව පෙන්වාදුන් අමාත්‍යවරයා, ජාතික මට්ටමින් හා ජාත්‍යන්තර තලයෙහි විශිෂ්ට ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රායෝගිකව ම ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පද්ධතියට සම්බන්ධ කරගැනීම සඳහා මෙම බඳවාගැනීම් සිදුකරන බව පැවසුවා. ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා කටයුතුවලට වැඩි අවධානය යොමුකිරීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු මගහැරී ඇති බවත්, එලෙස උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වූ නමුත් ක්‍රීඩා ක්ෂේත්රයේ විශිෂ්ට දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පාසල් ක්‍රීඩා පද්ධතියට උපරිම දායකත්වය ලබාගැනීම සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් බඳවාගැනීමේ අවම සුදුසුකම අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්වීම ලෙස සලකා ඇති බව ද සඳහන් කළා.
ක්‍රීඩා පිටියේ රැඳී සිට ක්‍රීඩාව ඉගැන්විය හැකි පුහුණුකරුවන්ගේ හිඟය පාසල් ක්‍රීඩා ක්ෂේත්රය කඩාවැටීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ද පෙන්වාදුන් අමාත්‍යවරයා, අලුතෙන් බඳවාගන්නා ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රීඩා පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව ද සඳහන් කළා.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග අතරට මේ වසරේ දී Beach Volleyball සහ රගර් ක්‍රීඩාව එක්කර ඇති බවත්, ඉදිරි වසරේ දී Cricket Leather Ball ක්‍රීඩාව ද එක් කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළා.
33 වැනි වරටත් මෙවර සංවිධානය කර ඇති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා -2017 තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස දෙවැනි දා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, සමාප්ති උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීට නියමිතයි. මෙම තරගාවලිය කණ්ඩායම් ක්‍රීඩා 27කින් හා මලල ක්‍රීඩා තරගාවලියකින් සමන්විත අතර, මෙවර පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39000ක් පමණ මෙම තරගාවලියට සහභාගීවීමට නියමිතයි.