අධ්‍යාපන පද්ධතිය විධිමත් කිරීම සහ ගුණාත්මක බව ඇති කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ස්වාධීන නිර්නායක මත පදනම්ව ගන්නා බවත් ඒ අනුව පාසල් වල ගොඩනැගිලි ඇතුලු යටිතල පහසුකම් විධිමත් කිරීම මෙන් ම මානව සම්පත් විධිමත් කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවති අන්තර් පාසල් මුල්‍ය වාර්තාකරණයේ ගුණාත්මකභාවය ඇගයීම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.
ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ මුල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය නිරවද්‍යතාවය වැනි ගුණාත්මක සාධක වර්ධනය කිරීමේ මූලික අරමුණු ඇතිව ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය AAT SRI LANKA අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව හොඳම වාර්ෂික ගිණුම් වාර්තා ඇගයීමේ උළෙල සංවිධානය කරනු ලබන අතර මෙවර එය පවත්වනු ලැබුවේ 10 වන වරටයි.
2008 වර්ෂයේ දී ජාතික පාසල් පමණක් සහභාගි කරගනිමින් පැවැත්වූ මෙම ඇගයීම් තරගය මේ වසරේ සිට පළාත් පාසල් ද සම්බන්ධ කරගනිමින් පවත්වනු ලැබු අතර ඒ සදහා දිවයිනේ පාසල් 319 ක සිසු දරුවන් සහභාගි වුණා. මෙහි දී ජාතික මට්ටමේ ස්වර්ණ සම්මාන ඵලකය සහ මුදල් ත්‍යාගය කොළඹ විශාඛා විද්‍යාලය හිමි කරගත් අතර රිදී සම්මාන ඵලකය සහ මුදල් ත්‍යාගය ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලට ද ගම්පහ රත්නාවලී බාලිකා විදුහලට ලෝකඩ සම්මාන ඵලකය සහ මුදල් ත්‍යාගය ද හිමි වුණා.
මීට අමතරව ඒ ඒ පළාත් හා දිස්ත්‍රික් මට්ටමේ විශිෂ්ඨම ඉදිරිපත් කිරීම් සඳහා සම්මාන ඵලක හා මුදල් ත්‍යාග ලබා දුන්නා.
මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ AAT SRI LANKA ආයතනයේ සභාපති ජේ.එම්.යූ.බී. ජයසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.