අධ්‍යාපන පද්ධතිය පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙන් තමන් සැමවිට නායකත්වය ලබා දෙන බවත් කිසිදු විටෙක කිසිම වරදක් සැඟවීමට කිසිවෙකුට හෝ ඉඩ නොතබන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. වසර ගණනාවකට පෙර සිට විපක්ෂයේ සිටිමින් අධ්‍යාපනයේ ඇති ගැටළු, අක්‍රමිකතා මෙන්ම වංචා පිළිබඳ තමා දිගින් දිගිටම හඬ නෑගූ බවත් එම අත්දැකීම් ද උපකාරී කරගනිමින් වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ෂණය පිළිබඳව ද අදහස් පළ කළා.
පසුගිය පාලන සමයේ දී විභාග සම්බන්ධයෙන් වූ විශ්වසනීයත්වය ගිලිහී ගිය ද එහි දී සිදු වූ අක්‍රමිකතා හෙළි කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් විධිමත් පියවර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවුනු ආකාරය ද පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා, පැවැත්වෙන විමර්ශනයට අනුව විභාග දෙකක් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ පිළිබඳව ද අනාවරණය කළා.
ඒ අනුව පසුගිය දා අවසන් වූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ iii වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ සාමාන්‍ය බුද්ධිය ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීමට පියවර ගැනීමට තීරණය වූ බවත් මීට අමතරව පසුගිය අප්‍රේල් මාසයේ පැවති ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයේ iii වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත/විවෘත තරඟ විභාගය අවලංගු කොට නැවත පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් සඳහන් කළා.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සේවා පළපුරුද්ද හා කුසලතා මත පදනම්ව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ iii වන ශ්‍රේණියට බඳවා ගත් නවක නිලධාරීන් 108 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දීමේ උත්සවයකට එක්වෙමින්. අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මෙම උත්සවයට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් තිස්ස හේවාවිතාන ඇතුළු මහත්මා මහත්මීන් රැසක් එක් වුණා.