‘සදා සුරකිමු දැයේ දරුවන්’තේමාවෙන් ජාතික මට්ටමින් හඳුන්වා දුන්සුරක්ෂාසිසු රක්ෂණාවරණය ලබා දීම නිමිති කරදෙසැම්බර් මස 07 වන දින ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනයලෙස නම් කර තිබෙනවා. සුරක්ෂා සිසු රක්ෂණාවරණය, දරුවන්ගේ කායික හා මානසික නිරෝගීබව ආරක්ෂා කිරීමටත්, ඒ තුළින් දැයේ දරුවන්ට වඩාත් යහපත් අනාගතයක් අත්පත් කර දීමට මනා පිටුබලයක් ලබාදීමත් අරමුණු කර ක්‍රියාත්මක වේ.මේ වැඩසටහන හා එහි ප්රතිලාභ හිමිකරගන්නා ආකාරය පිළිබඳ දරුවන් සහ මාපියන් ඇතුළු පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව තවදුරටත් මතුව තිබූ අතර ඒ අනුව දෙසැම්බර් 07 දින සුරක්ෂා සිසු රක්ෂණාවරණය පිළිබඳ පාසල් සිසුන් සහ පාසල් පාදක ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්ත මෙම විශේෂ වැඩසටහන ක්‍රියත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබෙනවා.
මෙම දීපව්‍යාප්ත වැඩසටහන යෙදී ඇති දෙසැම්බර් 07 වන බ්‍රහස්පතින්දා දිනයේ උදෑසන පාසල් රැස්වීම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා යොදා ගැනෙන අතර මේ පිළිබඳ අත්පත්‍රිකාවක් මෙන්ම දැනුවත් කිරීමේ දේශනයන්ද සිදුකිරිම නියමිතයි.මේ පිළිබඳ විස්තර ඇතුලත් චක්‍රලේඛයක් සියලුම පාසල් පිරිවෙන් ඇතුළු ආයතන ප්‍රධානීන් වෙත යොමු කිරීමටද පියවර ගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාවට නැංවුණු සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ඔක්තෝබර් මස පළමු වැනිදාට යෙදුණු ලෝක ළමා දිනයේ සිට බලගන්වනු ලැබුවා. මේ යටතේ සෑම පාසල් දරුවකු සඳහා ම වසරකට රුපියල් ලක්ෂ 2 ක බැගින් වන රක්ෂණාවරණයක් හිමිවන අතර රජයේ සියලු පාසල්, ආධාර ලබන පුද්ගලික පාසල්, ආධාර නොලබන පුද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, හා පිරිවෙන් ද ඇතුළුව, ශ්‍රී ලංකාවේ පාසල් 11,242 ක් තුළ අධ්‍යාපනය ලබන, පාසල් යන වයසේ පසුවන දරුවන් ලක්ෂ 45 කට ආසන්න සිසුන් පිරිසක් ආවරණය වනවා.ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මෙහි ප්රතිලාභ ලබාගත හැකී.
ඒ වෙනුවෙන් කරන සියලු ගෙවීම් රජයෙන් දරන අතර, දරුවන්ගේ මව්පියන්ට මේ සඳහා කිසිදු ගෙවීමක් කිරීමට සිදු වන්නේ නැහැ.මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 3කට ආසන්නයි.
සුරක්ෂා සිසුරක්ෂණාවරණය යටතේ පාසල් දරුවකුගේ බාහිර ප්‍රතිකාර සඳහා රු. 10,000 ක් ද රෝහල්ගත වීමකදී රු. 100,000 දක්වා ද පාසල් දරුවකුගේ හදිසි මරණයකදී රු. 100,000 ක් සහ සිය මවගේ හෝ පියාගේ හදිසි මරණයක දී දරුවකුට රු. 75,000 ක ප්රතිලාභ ලැබෙනවා. එසේම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රු. 100,000 සහ අර්ධ ආබාධිත තත්ත්වයකදී රු. 50,000.00 සිට රු. 100,000 දක්වා ඇතුළු තවත් ප්රතිලාභ රැසක් හිමිවන අතර මේ වන විට සිසුන් විශාල ප්‍රමාණයක් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්රතිලාභ ලබාගනිමින් සිටිනවා.