ජනකලා සෞන්දර්ය පාඨමාලා හදාරන සියලුම අභ්‍යාසලාභීන්ගේ රුපියල් 2000 ක ශිෂ්‍යාධාරය රුපියල් 4000 දක්වා වැඩිකිරීමට අමාත්‍යවරයාගේ අවධානය
සාර්ථකත්වයට පත්විය හැක්කේ, දේශියත්වය, ඉතිහාසය සහ සංස්කෘතිය සුරකිමින්, නව සංකල්ප ඔස්සේ වැඩකිරීම තුළ පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඊයේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පැවති, 2018 වර්ෂය සඳහා ජනකලා පාඨමාලා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
මෙහි දී රැස්ව සිටි නිලධාරීන් ඇතුළු පිරිස අමතමින් අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ නිරන්තරයෙන් නව සංකල්ප ඔස්සේ සිතමින් සිය සේවයන් සැපයීම සඳහා උනන්දු වන ලෙසයි. නව සිතුවිලි සහ සංකල්ප නොමැතිව, ආරම්භ කළ තැනින්ම අවසන් කරන වැඩපිළිවෙළක් තුළ අනාගතය ජයගත නොහැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. එමෙන්ම, වයසින් සහ ස්වරූපයෙන් පැරණි වූව ද සිතුම් පැතුම් අලුත් නම්, ශක්තිමත් අනාගතයක් කරා පියමං කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.
ජනකලා සෞන්දර්ය පාඨමාලා හදාරන සියලු ම සිසුන් සඳහා දැනට පිරිනැමෙන රුපියල් 2000 ක ශිෂ්‍යාධාරය රුපියල් 4000 ක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ද තම අවධානය යොමු කරන බව මෙහි දී අමාත්‍යවරයා කියා සිටියා. එම සිසුන් සඳහා රජය මඟින් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා අමාත්‍යවරයා ඒ වෙනුවෙන් නිරන්තරයෙන් කැප වී සිටන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.
ජනකලා කේන්ද්‍රය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම පාඨමාලාවන් සඳහා සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ මඟින් අභ්‍යාසලාභීන් බඳවා ගැනෙනවා. නර්තන අංශයෙන් අභ්‍යාසලාභීන් 50 ක්, සංගීත අංශයෙන් අභ්‍යාසලාභීන් 32 ක් සහ චිත්‍ර හා මූර්ති අංශයෙන් අභ්‍යාසලාභීන් 35 ක් ලෙස අභ්‍යාසලාභීන් 117 දෙනෙකු මෙම වසරේ ජනකලා සෞන්දර්ය පාඨමාලා සඳහා සුදුසුකම් ලබාගත්තා. දේශීය සංස්කෘතිය හා සංස්කෘතිකාංග පිළිබඳවත්, අතීත උරුමයන් පිළිබඳවත් මනා දැනුමකින් සහ ශිල්ප ඥානයෙන් යුක්ත වූ නිර්මාණශීලී වෘත්තිය ශිල්පියෙකු බිහිකිරීම මෙම පාඨමාලාවන්ගේ අරමුණයි.