“සාමාන්‍ය පෙළ විභාගයේ සියලු මෙහෙයුම් කටයුතු දෙසැම්බර් මාසයේ දී ම අවසන් කිරීමට ඉදිරියේ දී පියවර -
පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනාවත් ඉහළ නැංවීමට කටයුතු කරනවා” - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්
රජය විසින් සිසුන් වෙත නොමිලේ ලබා දෙන පෙළපොත් අවම වශයෙන් වසර දෙකක කාලයක්වත් භාවිතා කිරීමට සිසුන් යොමුකරවීමට ගත් තීරණය යහපත් චේතනාවෙන් ගත් තීරණයක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (11) කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පැවති 2018 වර්ෂය සඳහා පෙළපොත් බෙදා දීමේ ජාතික මහෝත්ස්වයට එක්වෙමින්.
නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් සිසුන් වෙත පෙළපොත් විකිණිමට සහ පෙළපොත් ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවට විවිධ පාර්ශව විසින් පසුගිය දින වල දී එල්ල කළ පටු දේශපාලනික චෝදනා මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත්, පෙළ පොත් මුද්‍රණය සඳහා මහජනතාවගේ බදු මුදල් යොදා ගනිමින් කරනු ලබන අධික වියදම අවම කරමින් එම මුදල් තවත් කටයුත්තක් සඳහා යෙදවීමට හැකි වන පරිදි මුදල් කළමනාකරණය කරවීමේ අරමුණින් මෙන්ම සිසුන්ට පෙළපොත්වල අගය කියාදීමේ අරමුණින් ද මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කර සිටියා.
රජය විසින් නොමිලේ ලබා දෙන පෙළපොත් තවත් වසරක් භාවිතා කිරීමට සුදුසු වන පරිදි සංරක්ෂණය කිරීමේ යුතුකම සහ වගකීම සිසුන් සතු වන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.වසරක් භාවිතා කරන ලද පෙළපොත් නැවත භාවිතා කිරීම පිළිබඳ ඇති අකමැත්ත හේතුවෙන් ඇතැම් සිසුන් මෙන්ම දෙමාපියන් බොහෝ දෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන හරහා නව පෙළපොත් මිල දී ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා. එම වාතාවරණය උපයෝගී කරගනිමින් රජය පෙළපොත් විකිණිමට සහ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට පියවර ගන්නා බවට විවිධ පාර්ශව චෝදනා කරනු ලැබූ බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී පැහැදිලි කළා.
එමෙන්ම,සාමාන්‍ය පෙළ විභාගය සඳහා ගතවන කාලය අවම කිරීමටත්, සාමාන්‍ය පෙළ විභාගයේ කටයුතු හේතුවෙන් නව වසරේ දී ආරම්භ වන අධ්‍යාපන කටයුතු වෙත බාධා වීම වැළැක්වීම සඳහාත් ඉදිරියේ දී සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග කටයුතු දෙසැම්බර් මාසය තුළ දීම අවසන් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා මෙහි දී පවසා සිටියා. ඉදිරියේ දී පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනාව වැඩි කිරීමට සහ පිළිතුරු පත්‍ර පරික්ෂාවේ දී සිසුන් වෙත යම් අවාසිදායක තත්ත්වයක් ඇති වන්නේ නම්,එය වැළැක්වීමේ අරමුණින් සියලු පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්හට එක් දිනක දී පරික්ෂා කළ යුතු නියමිත පිළිතුරු පත්‍ර සංඛ්‍යාවක් ද තීරණය කිරීමට කටයුතු කරන ලෙසටත් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා,අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතා සහ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම පාසල් කිහිපයක් නියෝජනය කරමින් ගුරුවරුන් සහ සිසුන් රැසක් ද මෙම උත්සවයට එක්ව සිටියා.