නවතම පුවත්

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීම ශාසනයට, සාහිත්‍යයට, සමාජයට බලවත් පාඩුවකි

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ හදිසි අපවත්වීම මුලුමහත් ශ්‍රී ලාංකීය ජනතාවට සංවේගදායී පුවතකි. බුදුදහම, සාහිත්‍යය, දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, ආදී ක්ෂේත්‍ර සම්බන්ධ ව පුළුල් අවබෝධයක් තිබූ උන්වහන්සේ ස්වකීය දැනුම ශාස්ත්‍රීය පොතපතට පමණක් සීමා කළ උගතෙක් නොව, ඒ හරහා සමාජ මෙහෙවරක යෙදුණු වියත් හිමි නමකි.

රට වෙනුවෙන් හඬ නැගිය යුතු තැන්වල දී නිහඬ ‍නොවූ, බොදු ජන ප්‍රසාදය නොමඳව දිනාගත හැකි ආකර්ෂණීය පෞර්ෂත්වයකින් යුතු වූ විමලරතන හිමියන් සිය දිවිසැරිය තුළ සිදුකර ඇති ශාසනික හා ශාස්ත්‍රීය මෙහෙවර අතිමහත් ය.

පනහ දශකයේ දී පැවිදි දිවියට ඇතුළත්ව, විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්ව විද්‍යාල මඟින් උපාධි ලබා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ උන්වහන්සේ 2005 වසරේ සිට එහි කුලපතිවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

බෞද්ධ සංස්කෘතිය හා සම්ප්‍රදාය, බෞද්ධ මහා පුරුෂ සංකල්පය, ප්‍රඥා පාරමිතා සූත්‍ර සාහිත්‍යය වැනි උසස් බෞද්ධ කෘති රැසක් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් රචනා කර ඇති උන්වහන්සේගේ අධ්‍යාපනික හා ශාසනික මෙහෙවර යුග ගණනාවකට විහිදෙන්නකි.

උගත්, විද්වත්, අත්දැකීම්වලින් පරිණත මිනිසුන් රටට වැඩිවැඩියෙන් අවැසි සමයක, බෙල්ලන්විල විමලරතන හිමියන් වැනි ශ්‍රේෂ්ඨ යථිවරයාණන් කෙනෙකුගේ අපවත්වීම මෙරට බෞද්ධ ශාසනයට, සාහිත්‍යයට, සමාජයට බලවත් පාඩුවකි. පිරිමැසිය නොහැකි අඩුවකි.

අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ රට, දැය, සමය වෙනුවෙන් නොපසුබට ව, අපක්ෂපාතීව, අභීතව පෙනී සිටි අතීත ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂුවගේ කාර්යභාරය මෑතකාලීන ව හඳුනාගත් භික්ෂූන්වහන්සේලා  අතර සිටි ශ්‍රේෂ්ඨ හිමිනමකි.

ජාතීන් අතර සංහිඳියාව, සමගිය ඇතිකිරීමේ කාලීන වටිනාකම හොඳින් අවබෝධකරගත් උන්වහන්සේ සමාජයට උපේක්ෂාව, මධ්‍යස්ථ මතධාරීව කටයුතු කිරීමේ වැදගත්කම ආදර්ශයෙන් ම පෙන්වා දුන්හ. විමලරතන හිමියන්ගේ එවන් දෑහිතකාමී කටයුතු දෙස්විදෙස් ජනතාව අතර නොමඳ පැසසුමට ද ලක්විය.

මිල කළ නොහැකි යුග මෙහෙවරක නිරත වෙමින් බොදු ජන හදවත් මෙන් ම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් සුවපත් කළ බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන‍් සුව ලැබේවා!

(අකිල විරාජ් කාරියවසම් - ලෝක එක්සත් බෞද්ධ සංඝ සම්මේලනයේ ගිහි සභාපති)

Search