නවතම පුවත්

‘‘ඉදිරියේ දී රජයේ සියලුම පාසල් පුස්තකාලවල මානව සම්පත් වැඩි කිරීමට කටයුතු කරනවා’’

දැයේ දරුවන් හට කියවීම ඇබ්බැහි කරවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ පරමාර්ථය වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (06) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති, සිය සංකල්පයකට අනුව නිර්මාණය වූ ‘2018-2019 කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ අහිතකර පුරුදු සහ නොයෙක් විෂමාචාර ක්‍රියාවලට ඇබ්බැහි වීමේ අවධානමක් ඇති තරුණ සමාජයකට කියවීම ඇබ්බැහි කරවීම විප්ලවීය සංකල්පයක්ම වන බවයි.

දරුවන් තුළ කියවීම ඇබ්බැහි කරවීම යනු දැනුමෙන් සහ බුද්ධියෙන් සවිබල ගැන්වුනු අනාගත පරපුරක් රටට නිර්මාණය කිරීමක් වන බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා. ඒ තුළින් රටේ සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සැකසිය හැකි බවත් එය රටේ මානව සම්පත දියුණු කිරීම සඳහා ඉමහත් පිටිවහලක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී කියා සිටියා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේ, දරුවන් තුළ කියවීමේ රුචිය වර්ධනය කරවීමේ දැඩි අවශ්‍යතාවය මෙන්ම කියවීමේ වටිනාකම ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සහ වත්මන් රජය විසින් හොඳින් අවබෝධ කරගෙන ඇති බවයි.

සීමා මායිම්වලට කොටු නොවී කියවීම ඉතා පුළුල් පරිසරයකට විහිදුවාලමින්, විවිධ වර්ගයේ පොත් කියවීම තුළ විවිධ අංශවලින් දැනුම් වර්ධනය කරගැනීමට ළමුන් පෙළඹවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළා.

එමෙන්ම සියලු රජයේ පාසල්වල පුස්තකාල තව තවත් විධිමත් කරමින් ඒවායේ මානව සම්පත් තව තවත් වැඩි වර්ධනය කිරීම ද රජයේ අපේකෂාව වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ප්‍රකාශ කළා.

කියවන සිසුන් තව තවත් උනන්දු කරවමින් ඔවුන් අගය කිරීම තුළ රටේ මහා දැනුම් විප්ලවයක් ඇති කළ හැකි බවත් එවන් සිසු පරපුරක් නිර්මාණය කිරීම සඳහා වැය කරන මුදල රටට තවත් වියදමක් ලෙස නොව රටට තවත් වටිනා ආයෝජනයක් ලෙස සැලකිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

දිවයිනේ පාසල්වල 06 සිට 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා මෙම ‘කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වනවා. පදක්කම් වැඩසටහන සහ ප්‍රාසාංගික වැඩසටහන ලෙස අංශ දෙකකින් එම වැඩසටහන සමන්විතයි.

පදක්කම් වැඩසටහන යටතේ කියවන ලද එක් එක් පොත් වෙනුවෙන් ලියන ලද කාර්ය සටහන් පත්‍රිකාවලින් 50% කට වඩා ලකුණු ලබාගත් සටහන් වාර්තා 50ක් සම්පූර්ණ කරන සිසුන් (පොත් 50ක් කියැවූ සිසුන්) වෙත රිදී පදක්කම ද, කියවන ලද එක් එක් පොත් වෙනුවෙන් ලියන ලද කාර්ය සටහන් පත්‍රිකාවලින් 50% කට වඩා ලකුණු ලබාගත් සටහන් වාර්තා 75ක් සම්පූර්ණ කරන සිසුන් (පොත් 75ක් කියැවූ සිසුන්) වෙත රන් පදක්කම ද, කියවන ලද එක් එක් පොත් වෙනුවෙන් ලියන ලද කාර්ය සටහන් පත්‍රිකාවලින් 50% කට වඩා ලකුණු ලබාගත් සටහන් වාර්තා 100ක් සම්පූර්ණ කරන සිසුන් (පොත් 100ක් කියැවූ සිසුන්) වෙත ප්ලැටිනම් පදක්කම ද පිරිනැමෙනු ඇති.

ප්‍රාසාංගික වැඩසටහන පාසල්, කලාප, පළාත් සහ ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබයි. එහි ප්‍රථම අදියර වන පාසල් මට්ටමේ දී පාසල් පුස්තාකලයේ පොත් අතරින් හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල්වල භාවිතය සඳහා අනුමත කළ පොත් අතරින් ළමුන්ගේ කැමැත්ත පරිදි සුදුසු කෘතියක් තෝරාගෙන ඊට අදාළ කාර්ය සටහන් පත්‍රිකා ගොනුව සම්පූර්ණ කර පන්තිභාර ගුරුවරයාට බාර දිය යුතුයි. දෙවන අදියරයේ දී එසේ පාසල් මට්ටමින් එවනු ලබන කියවන්නන් අතුරෙන් කලාප මට්ටම සඳහා හොඳම කියවන්න් 20 දෙනෙකු තෝරා ගැනේ. කලාප මට්ටමින් තෝරා එවනු ලබන හොඳම කියවන්නන් 20 දෙනාගෙන් පළාත් මට්ටම සඳහා හොඳම 10 දෙනා තෝරාගැනීම් මෙහි තෙවැනි අදියරයයි. සිවුවන අදියරයේ දී සිදුවන්නේ පළාත් මට්ටමේ හොඳම කියවන්නන් අතර ජාතික මට්ටමින් ප්‍රශ්න විචාරාත්මක රියැලිටි රූපවාහිනී වැඩසටහනක් පැවැත්වීමයි. එමෙන්ම මෙම වැඩසටහන යටතේ වසරක් පාසා තෝරාගැනෙන හොඳම කියවන්නන් 100 ක් සඳහා විදේශ ශිෂ්‍යත්ව පිරිනැමීමට ද නියමිතයි.

‘2018 – 2019 කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් වැඩසටහට අදාළ චක්‍ර‍ලේඛය සහ උපදෙස් සංග්‍රහය පිළිගැන්වීම මෙන්ම එම වැඩසටහන යටතේ ජයග්‍රාහී සිසුන්ට පිරිනැමෙන රිදී, රන් සහ ප්ලැටිනම් පදක්කම් එළි දැක්වීම ද අද සිදුවුනේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින්.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ , අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පුස්තකාල සංවර්ධන අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එච්.එන්. නන්දසිරි යන මහත්වරුන් සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

 

Search