නවතම පුවත්

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මහලේකම්වරියගේ ඇගයුමට

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු වුණා.

එහිදී පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ දායකත්වය ලබාදීමට කැප වී සිටින බව සඳහන් කළා.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17 අතරින් හතරවන ඉලක්කය ලෙස නම් කොට තිබෙන පරිපූර්ණ, සාධාරණ, ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සහ සැමට ජීවිත කාලය පුරා ඉගෙනීමට අවස්ථා සැලසීම සඳහා මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ද ඇය අවධාරණය කළා. අධ්‍යාපනය හරහා සමාජය තුළ විරැකියාව, දරිද්‍රතාවය මෙන්ම නූගත්කම වැනි ගැටලු සඳහා විසඳුම් ලබාදීමට හැකි බව පෙන්වා දුන් පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය බෝ නොවන රෝගාබාධ වලින් (දියවැඩියාව, හෘද රෝග......) පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපනය තුළ ක්‍රියාශීලී අවස්ථා වැඩි වශයෙන් නිර්මාණය කිරීමටත්, පාසලේදීම උදෑසන ආහාර ලබා ගැනීමටත්, ව්‍යායාම් සිදු කිරීම දෛනික පුරුද්දක් බවට පත් කිරීමට දරුවන් හුරු කිරීමේ අවශ්‍යතාව මතු කළා.

ගුරුවරුන් හා දරුවන් අතර දුරස්ථභාවය, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැනි තත්ත්වයන් හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් බොහෝ රටවල දරුවන් පීඩාවට පත්ව ඇති බව ද පෙන්වා දුන් මහලේකම්වරිය ජාති, කුල, ආගම් භේදයෙන් තොරව එක් ජාතියක් ලෙස සියල්ලන්ටම උදව් උපකාර සිදු කරමින් ඉදිරියට යාම සඳහා සංහිදියාව පිළිබඳ අවබෝධය ද දරුවන්ට ලබාදීමේ වැදගත්කම සඳහන් කළා. ක්‍රිකට් ක්‍රීඩාව හරහා ශ්‍රී ලංකාව තුළ තරුණ ප්‍රජාව අතර සංහිදියාව හා එකමුතුකම ඇති කිරීමට අපූරු හැකියාවක් ඇති බව ද පෙන්වා දුන් මහ ලේකම්වරිය එවැනි වැඩසටහන් සඳහා ද පොදු රාජ්‍ය මණ්ඩලය හරහා දායකත්වය ලබා දෙන බව ද පැවසුවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ විරැකියාව සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසකට දැනටමත් ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති බවයි. 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සහ ඒ සඳහා හඳුන්වා දී ඇති වෘත්තිය විෂය ධාරාව පිළිබඳව ද මෙහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා ඊට අමතරව යෝජිත පාසල් සුපරීක්ෂණ මණ්ඩල වැඩසටහන්, මානව සම්පත් පුහුණ වැඩසටහන්, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, සුහුරු පන්ති කාමර, නව මාධ්‍ය හරහා ලබා දෙන අධ්‍යාපන ක්‍රමවේදයන් වැඩි දියුණු කිරිම, e - සාක්ෂරතාවය නැංවීමට ගෙන ඇති වැඩසටහන් පිළිබඳව ද කරුණු සඳහන් කළා.

සාකච්ඡාවට එක්වූ අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මෙරට අධ්‍යාපන පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් උනන්දුව අවම මට්ටමක පවතින බවය. ඒ සඳහා අධ්‍යාපන පර්යේෂකයන් උනන්දු කිරීම වෙනුවෙන් ද අග්‍රාමාත්‍යවරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් මේ වන විට අරඹා ඇති බව ද සඳහන් කළා.

ශ්‍රී ලංකා රජය මේ වනවිට අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ නැවත තම ප්‍රශංසාව පළ කළ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය.

· නිරෝගී දරු පරපුරක් නිර්මාණය කිරීම සදහාත්, ගුරුවරුන් පුහුණු කිරීම සඳහාත් පොදු රාජ්‍ය මණ්ඩලයේ දායකත්වය ලබාදීම.

· මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු අධ්‍යාපනඥයින්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලය හරහා ශිෂ්‍යත්ව ලබාදීම.

· පොදු රාජ්‍ය මණ්ඩලය අතර ඉගෙනුම් මෙවලම් හුවමාරුව සහ මෙරට අධ්‍යාපනඥයින්ගේ දැනුම වර්ධනය කිරීමට තාක්ෂණ සහාය ලබාදීම.

· අධ්‍යාපනය සම්බන්ධ ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාකාරකම්වලදී විෂය ප්‍රවීණයන්ගේ දායකත්වය ලබාදීම.

· පුරවැසි වගකීම් සහ සමාජ සංහිඳියාව ඉහළ නැංවීම සඳහා දායකත්වය ලබාදීම.

ආදී කටයුතු රැසක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සහය ලබා දීමටද එකඟතාවය පළ කළා.

 

Search