නවතම පුවත්

ගුරු ප්‍රතිභා ප්‍රභා

දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ගුරුභවතුන් හා විදුහල්පතිවරුන් කැපවීමෙන් හා දිරියෙන් සිදු කළ සේවයට නිසි උපහාර දක්වන්නට අධ්‍යාපන අමාත්‍යංශය විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන “ ගුරු ප්‍රතිභා ප්‍රභා ” ගුරු හා විදුහල්පති ඇගයීම් උළෙල අද ( 05) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වුණා.

‘ජාතියක අනාගත ආයෝජනය ගුරුවරුන්ය’ යන්න මෙවර ගුරු ප්‍රතිභා ප්‍රභා ඇගයීම් උළෙලෙහි තේමාවයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් මෙම ගුරු ප්‍රතිභා ප්‍රභා ඇගයීම් උළෙල පැවැත්වුණා.

මෙවර ප්‍රණාම ලබන ගුරුභවතුන් සංඛ්‍යාව 380ක් වන අතර, අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ හා උපදෙස් අනුව මෙම ඇගයීම සඳහා විදුහල්පතිවරුන් හා ගුරුවරුන් තෝරාගෙන තිබෙනවා.

1 AB, 1C, 2 වර්ගය හා 3 වර්ගය ලෙස පවත්නා පාසල් වර්ගීකරණය, එමෙන්ම ශිෂ්‍ය සාධනය සංවර්ධනය කිරීමෙහි ලා දක්වා ඇති අතිරේක දායකත්වය, විෂය සමගාමී කටයුතු, ශිෂ්‍ය සුබසාධනය, සිසු ජයග්‍රහණ උදෙසා ලබා දී ඇති සහය, ව්‍යාපෘති, පර්යේෂණ, නව නිර්මාණ, භෞතික සම්පත් සංවර්ධනය, ඉගෙනුම් ඉගැන්වීම් සංවර්ධනය හා අධ්‍යාපන පද්ධතිය තුළ සම්පත් දායකත්වය, යන කරුණු පදනම් කරගනිමින් සකස් කරගනු ලැබු නිර්ණායක කෙරෙහි මෙම ඇගයීම් ක්‍රියාවලියේ දී අවධානය යොමු කර තිබෙනවා.

සෙසු සියලු වෘත්තිකයන් අතර සුවිශේෂී වැදගත්කමකින් යුත් වෘත්තිකයන් ලෙස ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්හට ඇති සමාජීය පිළිගැනීම වඩාත් ගෞරවනීය මට්ටමකට ගෙන යාමත්, වඩා ඵලදායී හා කාර්යක්ෂම සේවයක් සඳහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පෙළඹවීම හා දිරිමත් කිරීමත් මෙම ජාතික ප්‍රණාම උලෙළෙහි අරමුණු අතර වනවා.

ඒ ඔස්සේ නව අධ්‍යාපන ව්‍යවහාර සාර්ථක අයුරින් ක්‍රියාවට නංවමින් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමත් සමඟම සිසු - ගුරු - මාපිය සබඳතා තහවුරු කරගැනීම අධ්‍යාපන අමාත්‍යංශයේ අපේක්ෂාවයි.

Search