නවතම පුවත්

පාසල් ආරම්භයට පෙර, පාසල් භූමි සියල්ලෙහිම සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට පියවර.. පාසල් සහ පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ සහභාගීත්වයෙන් විශේෂ ක්‍රියාන්විතයක්..

පාසල් හා පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.


සිසු දරු දැරියන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සියල්ලගේම ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට දැඩි වගකීමක් ඇති බැවින්, සියලුම මවුපියන් හා වැඩිහිටියන්ගේ අවධානය ද යොමු කරමින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සියලුම ජාතික හා පළාත් පාසල් භූමි හා ඒ අවට ඉතා විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බවටයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර තිබෙන්නේ.

එළඹෙන 29 වැනි සඳුදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට පෙර දිවයිනේ සියලුම ජාතික හා පළාත් පාසල් භූමි සහ ඒ අවට ප්‍රදේශවල අරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම සිදු කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් සියලුම ආරක්ෂක ප්‍රධානීන් මේ වනවිටත් දැනුවත් කර ඇති අතර අමාත්‍යවරයා උපදෙස් දී තිබෙන්නේ පාසල් වාරය ආරම්භයට පෙර සියලුම පාසල් භූමි සහ ඒ අවට ප්‍රදේශයන් විශේෂ සෝදිසියකට ලක් කොට ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා විසින් ද පාසල් පරිශ්‍ර හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ගෙන් ද ලිඛිත ඉල්ලීම් සිදු කර තිබෙනවා.

එමෙන්ම පාසල් භුමිය හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව, පාසල් බස් රථ, වෑන් රථ හා පොදු ප්‍රවාහන සේවාවන් භාවිතය ද සැලකිල්ලට ගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද අවශ්‍ය කඩිනම් පියවර ගනු ඇති.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ පාසල් ආරම්භ වීමෙන් පසුවද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී  අමාත්‍යවරයා විසින් අදාල අංශ දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා.

මේ වන විටත් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා කලාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Search