වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

ක්‍රීඩා ගුරුවරුන් බඳවාගැනීමේ දී ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව

පාසල් දරුවන්ගේ සමබර පෞරුෂ සංවර්ධනය ඇති කිරීම සඳහා ඉදිරියේ දී ක්‍රීඩා ගුරුවරුන් 5,000 ක් බඳවාගැනීමට පියවර ගෙන ඇති බවත් එහිදී අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව, දිවයිනේ සියලු පළාත් සභාවන්ගේ ද සහයෝගය ඇතිව පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගනිමින් එම කුසලතා සංවර්ධනය කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ‘අධිෂ්ඨාන’ ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාතික මට්ටමේ හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයන් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට හැකිවන පරිදි සුදුසු නිර්ණායක සකස්කරමින් ඒ අනුව අදාළ බඳවාගැනීම් සිදු කරන බවයි. මෙසේ බඳවාගන්නා ක්‍රීඩා ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය ඇති කිරීම සඳහා විධිමත් ගුරු පුහුණුවක් ලබාදීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති නව විෂයන් 24 අතරට ක්‍රීඩා විෂය ද ඇතුළත් කර ඇති බවත්, නිරෝගී දරුවකු පාසල් පද්ධතියෙන් බිහිකිරීම වෙනුවෙන් සෑම පාසල් දරුවකුම කුමන හෝ ක්‍රීඩාවක නිරතවීම අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද සඳහන් කළා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය හා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අනෙකුත් අමාත්‍යාංශ සඳහා ද පූර්වාදර්ශයක් සපයන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ක්‍රිකට් ක්‍රීඩාව හැරුණු කොට ‍මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි වෙනත් ක්‍රීඩා සංවර්ධනය සම්බන්ධව විධිමත් ක්‍රමවේදයක් මෙතෙක් නොතිබීම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීමට පැවති විශාල බාධාවක් ව පැවති අතර, දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන මගින් එම ජාතික අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට අපේක්ෂා කෙරෙනවා. මේ සඳහා රටේ ක්‍රීඩා දක්ෂතා ඇති සිසුන් හඳුනාගෙන ඔවුන්ගේ එම දක්ෂතාවන් විද්‍යානුකූල පසුබිමක් යටතේ සංවර්ධනය කරනු ලබනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමාරම්භක උත්සවයට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. එස්. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස් සුනිල් හෙට්ටි ආරච්චි, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඩී. එම්. ආර්. බී. දිසානායක , අධ්‍යාපන අමාත්‍ය උපදේශක සුනිල් ජයවීර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
Category: Video Gallery | Created by: | Hits: 7702

Search