නවතම පුවත්

යුනෙස්කෝ සංවිධානයේ 206 වෙනි විධායක මණ්ඩල රැස්වීම පසුගියදා (09) ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.

 

යුනෙස්කෝ හි විධායක මණ්ඩලයේ 206 වැනි සැසිවාරය ආරම්භ කරමින් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ (Audrey Azoulay) මහත්මිය යුනෙස්කෝව ලෝකයේ වත්මන් අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීමේ සංවිධානාත්මක ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ක්ෂේත්‍රයන් රැසක් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළා.

විශේෂයෙන් කෘත්‍රිම බුද්ධිය ,අධ්‍යාපනය,කාන්තාවන්ගේ සහ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය,මාධ්‍ය නිදහස සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව සටන් කිරීම වැනි කරුණු පිළිබඳවද ඇය මෙහිදී විශේෂයෙන් අවධාරණය කර සිටියා.

 

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය 21 වන සියවසේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අධ්‍යාපන හැදෑරීමේ වැදගත්කම මතුකර සිටියා,.

අධ්‍යාපනයේ නව ප්‍රමිතීන් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි යුනෙස්කෝ මහා සභා රැස්වීමේ දී අධ්‍යපනයේ සුදුසුකම් පිළිගැනීම පිළිබඳ සම්මුතියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළා.

 

යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපති සහ යුනෙස්කෝ විධායක මණ්ඩල සමාජික අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රැස්වීමට එක් වෙමින් ශ්‍රී ලංකාව මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ විධායක මණ්ඩලය දැනුවත් කරනු ලැබුවා..

 

නූතන ලෝකය රැකියා අවස්ථාවන්ට ගැළපෙන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සිදු කිරීමට මේ වන විටත් ශ්‍රී ලංකා රජය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුකර ඇති බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන පිළිබඳව ද යුනෙස්කෝ විධායක මණ්ඩලය දැනුවත් කර සිටියා.

සාමාන්‍ය පෙළ විභාග කඩඉම අසමත්ව සහ ලෝකයේ ඉදිරියට යා හැකි වෘත්තීය නිපුණතාවන් අත්පත් කර ගැනීමට නොහැකිව ජීවන අර්බුදයන්ට මෙන්ම සමාජ ගැටලු රැසකට දරුවන්ට මුහුණ පෑමට සිදුව තිබූ වටපිටාවක එම අධ්‍යාපනයේ විශමතාවන් බැහැර කරමින් මෙම වැඩසටහන හඳුන්වාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පැහැදිලි කළා..

 

දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ විෂමතාවන් බැහැර කරමින් අධ්‍යාපනයේ සම අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් දියත් කර ඇති ළඟම පාසල - හොදම පාසල වැඩසටහන පිළිබඳවද යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපතිවරයා එහි විධායක මණ්ඩලයේ අවධානයට යොමු කළා.

 

මීට අමතරව වයස අවුරුදු 5 සිට 19 දක්වා වන සියලුම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම පිණිස රජය විසින් නොමිලේ හඳුන්වා දී ඇති “සුරක්ෂා” රක්ෂණාවරණය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී විධායක මණ්ඩලයේ අවධානය යොමු කළ අතර ශ්‍රී ලංකා රජය දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ගෙන ඇති සාධනීය පියවරයන් යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටුවේ ඇගැයීමට පාත්‍ර වුණා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සිදු කෙරුණා.

එම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද එක්ව සිටියා.

අමාත්‍ය රවුෆ් හකීම් සහ නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද මේ සඳහා සහභාගී වුණා.

 

අධ්‍යාපනය ගොඩ නැගීම සඳහා දේශපාලන බේදයකින් තොරව ඉහළ දක්ෂතා ඇති විදුහල්පතිවරුන් පත් කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අදාල අනුමැතිය සහ ලකුණු ලබා දීමේ ක්‍රමවේදය සඳහා ද අනුමැතිය ලබා ගනිමින්  පසුගිය වසරේ දී විදුහල්පතිවරුන් පත්කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර තිබු අතර එම සම්මුඛ පරීක්ෂණ අවසානයේ ලබාගත් ප්‍රතිඵල සහ විදුහල්පතිවරුන්ගේ ලේඛන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ.

එහෙත් රාජ්‍යසේවා කොමිෂන් සභාව ඒ සඳහා අනුමැතිය ලබා දී නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

 

මින් ඉදිරියට ශිෂ්‍යත්වයට පෙනී සිටීම අනිවාර්ය නැහැ , චක්‍රලේඛය නිකුත් කළා' - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මින් ඉදිරියට දරුවන් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

නියමිත ආදායම් සීමාවට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනීමට දක්ෂ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම සඳහාත්, පාසල් වල 6 ශ්‍රේණියට සිසුන් තෝරා ගැනීම සඳහාත් පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පරීක්ෂණයක් වශයෙන් වාර්ෂිකව පවත්වනු ලබනවා.

කෙසේ වෙතත් වර්තමානය වන විට එම මූලික අරමුණෙන් බැහැර වෙමින් ශිෂ්‍යත්ව විභාගය හරහා ශිෂ්‍ය විවිධත්වය සහ බුද්ධි වර්ධනයේ විෂමතාවන් නොසලකා හරිමින් කුඩා දරුවන්ගේ මනසට අහිතකර බලපෑම් ඇති කරවන අයුරින් කෘතීම සහ අනවශ්‍ය තරගකාරී බවක් නිර්මාණය කර තිබෙන බව ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සහ අධ්‍යාපනඥයින්ගේ මතය වී තිබෙනවා.

බොහෝ අවස්ථාවලදී අඩු ආදායම්ලාභී ශිෂ්‍යාධාර ලබා ගත යුතු පවුල්වල දරුවන්ටත් වඩා ප්‍රධාන ජාතික පාසල්වල සිසුන්, ශිෂත්ව විභාගය සම්බන්ධයෙන් විශාල පීඩනයකට හසුවන බවයි, ඔවුන්ගේ මතය වී තිබෙන්නේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මින් ඉදිරියට ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලබන ආදායම් සීමාවට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් හැර අනෙකුත් සියලු ම සිසුන් එම පරීක්ෂණයට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත් ඒ සඳහා කිසිදු අයුරකින් සිසුන්ට බලපෑම් නොකළ යුතු බවත් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද 08/2019 චක්‍රලේඛයෙහි දක්වා තිබෙනවා.

ඒ අනුව සිසුන්ට තම අභිමතය පරිදී මව්පියන්ගේ ද කැමැත්ත මත විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන්න තීරණය කළ හැකිවනු ඇත.

යම් අවස්ථාවකදී 5 ශ්‍රේණියෙන් අවසන් වන ප්‍රාථමික පාසලක සිසුවෙකු ශිෂ්‍යත්ව විභාගයට පෙනී නොසිටි අවස්ථාවක දී ඔවුන් සඳහා ප්‍රදේශයේ පාසලක් ලබා දීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පවරා තිබෙනවා.

අනවශ්‍ය ප්‍රවර්ධනය මගින් දරුවන් මුහුණ දෙන පීඩාවන්ට තිත ..

මීට අමතරව පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් තරගකාරීත්වය ප්‍රවර්ධනය වන අයුරින් පෝස්ටර් බැනර් වැනි ප්‍රචාරක කටයුතු නොකළ යුතු බවද මෙම චක්‍ර ලේඛයෙන් අවධාරණය කර තිබෙනවා.

අදාළ තීරණය ගෙන තිබෙන්නේ සමත් සහ අසමත් ලෙස දරුවන් වෙන් කරමින් නිර්මාණය වන බෙදීම තුළ කුඩා දරුවන් විශාල වශයෙන් මානසික අර්බුදයන්ට ලක් වන බව සහ ඔවුන්ගේ මානවීය ගුණාංග සංවර්ධනය සඳහා ද එය අහිතකර වන බවට ශිෂ්‍යත්ව සමාලෝචන කමිටුව හරහා ඉදිරිපත් කර තිබූ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින්.

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අයථා මුදල් එක්රැස් කිරීමත් තහනම්..

පාසල්වල 6 ශ්‍රේණි සිසුන් ඇතුළත් කිරීමේ දී අදාල චක්‍රලේඛ උපදෙස් පරිදි පහසුකම් හා සේවා ගාස්තු පාසල් සංවර්ධන සමිති ගාස්තු වැනි අනුමත ගාස්තු හැර වෙනත් ආධාර මුදල් අය කිරීම හෝ වෙනත් පරිත්‍යාගයක් ලබා ගැනීම සපුරා තහනම් බව ද මෙම චක්‍රලේඛය මගින් දක්වා තිබෙනවා.

ඒ ඇතැම් පාසල්වල 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී පැමිණෙන දරුවන්ගේ මාපියන්ගෙන් අයථා ලෙස මුදල් රැස් කරන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින්.

ශිෂ්‍යත්ව විභාගයේ දී දරුවන්ට ඇතිවන අනවශ්‍ය පීඩනය සම්බන්ධයෙන් ⁣විශේෂ අවධානය යොමුකරමින් ශිෂ්‍යත්ව විභාගය නැවත සමාලෝචනය කර, ඒ සඳහා සුදුසු විකල්ප යෝජනා ලබා ගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පත් කරන ලද ශිෂ්‍යත්ව විභාග සමාලෝචන කමිටුවේ නිර්දේශ මත මෙම තීරණවලට එළඹීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් විභාගය අහෝසි කිරීම පිළිබඳ අවසන් තීරණයකට එම කමිටුව මෙතෙක් එළඹ නැහැ.

වැල්ලවත්ත හින්දු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (03) පැවැත්වුණා.

ඒ,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාව සඳහා විද්‍යාලයේ සිසුවියන් ගුරුභවතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

වැල්ලවත්ත හින්දු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය  අප්‍රේල් මස 05 වන සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදායින් ආරම්භ වේ.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා  අවසන් වන අතර, දෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ  අප්‍රේල් මස 17වන බදාදාය.

රැකියා ලෝකයට ගැලපෙන වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය අවසන් කරන සිසු දරුවන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහතිකයට අමතරව ජාත්‍යන්තරව පිළිගන්නා NVQ සහතිකය ද  පිරිනමන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩ ලෝකයට පිවිසෙන දරුවාට, මෙම අධ්‍යාපන සහතික හිමිකරුවකු වන බැවින් රැකියා අපේක්ෂා කිරීමේ දී කිසිදු අඩුපාඩුවක් නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කොළඔ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (04) සවස පැවැති 2017 පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා.

මේ වනවිට තෝරාගෙන සිටින ක්‍රීඩා පුහුණුකරුවන් 3850 දෙනාටම මැයි මාසයේ දි පත්වීම් ලබා දී මනා පුහුණුවකින් පසු පාසල්වලට පත්කරන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ක්‍රීඩා දස්කම්, හැකියා දක්වන දරුවන් 1000කට සුබග ශිෂ්‍යත්ව අරමුදල මගින් මාසිකව රුපියල් 2500/- ක දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටිය දී ආරම්භ කරන ලද ජාතික පාසල් ක්‍රීඩා තරඟාවලිය නිසා ගම් දනව්හි සිසු සිසුවියන්ට සිය දස්කම්, හැකියා අනුව ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමි වූ බව ද එමගින් ක්‍රීඩාවට විශාල නැඹුරුවක් ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසුවා.

කායික හා මානසික සමබර පෞරුෂයක් වෙනුවෙන් හැම දරුවෙකුම කුමන හෝ ක්‍රීඩාවක නියැලිය යුතු බවට 2015 දී චක්‍ර ලේඛයක් නිකුත් කළ බවත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය පමණක් නොව කායික හා මානසික සෞ‍ඛ්‍යයෙන් පිරිපුන් සමබර පෞරුෂයක් ගොඩනඟා ගැනිමට ක්‍රීඩාවෙන් හැකිබව තව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

සියලු දෙනා එක්ව ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කරනවා නම් එය පාසල් පද්ධතියට කරන උපකාරයක් බවත් අමාත්‍යවරයා සදහන් කළා.

ක්‍රීඩා පාසල්හි දියුණුවට ප්‍රතිපාදන වෙන්කළ බව ද ළඟම පාසල හොඳම පාසල වැඩ සටහන යටතේ ගෘහස්ථ ක්‍රීඩාගාර, ක්‍රීඩා පිට්ටනි ඇතුලු පහසුකම් වෙනුවෙන් ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් වෙන් කරන ලද බවත් අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.

ක්‍රීඩාවේ නියැලෙන දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමහර අවස්ථාවල දී චක්‍රලේඛ පවා වෙනස් කරමින් ඇතැම් තීරණ ගැනීමට ක්‍රියා කළේ ක්‍රිඩාවෙහි වැදගත්කම දරුවන්ට කියාපෑමට බව ද තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිහිපත් කළ අමාත්‍යවරයා ලබන වසර වනවිට රටේ හැම දරුවකුටම අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වුවත් අසමත් වුවත් බාධාවකින් තොරව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමිවන බවත් පෙන්වා දුන්නා.

විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන උසස් පෙළ සහතිකය පමණක් නොව NVQ සහතිකයද එම සිසුනට පිරිනමන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. වැඩ ලෝකයට හා ප්‍රායෝගික ලෝකයට ගැලපෙන පරිදි සකස් කරන ලද දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනයෙන් පසු රැකියාවකට යාම සඳහා කිසි අඩුවක් සිදු නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකිනම් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලට පිවිස අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා හිමිවන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාව මෙම උත්සවය සංවිධානය කළා.

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අද (03) පැවැත්වුණා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන්.

මෙහිදී පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද සහ නවීකරණය කරන ලද පාසලේ ප්‍රධාන ශාලාව සහ පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා අද (01) රාජකාරි ආරම්භ කළා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමතිවරු සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

2017 වර්ෂයේ පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (4) පස්වරුවේ පැවැත්වුණා.

ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී.

එම වර්ණ ප්‍රදානෝත්සවයේ විශේෂ අවස්ථා මේ සමග දැක්වෙනවා.

 

 ජපානයේ සකුරා විද්‍යා වැඩසටහනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන්  දහදෙනෙක්..

 සහභාගී වන සියලු සිසුන් වෙත අධ්‍යාපන ඇමති අතින් ගුවන් ටිකට්පත්

 

රුසියාව, ජර්මනිය, චීනය, නෙදර්ලන්තය ප්‍රමුඛ රටවල් 35ක පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් 26 වැනි වරටත් පැවැත්වෙන අන්තර් ජාතික තරුණ විද්‍යාඥයා තරගාවලිය මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර්හි දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

2019 අප්‍රේල් 19-25 දිනයන්හි දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් සිව්දෙනෙකු සහභාගී වීමට නියමිතයි. මේ සඳහා  සිසුන් තෝරාගෙන ඇත්තේ, පාසල්, කලාප, පළාත් සහ ජාතික මට්ටමින් විද්‍යාත්මක පර්යේෂණ පත්‍ර හා ඒවායේ ඉදිරිපත්කිරීම් විශිෂ්ට ලෙස ඉදිරිපත් කරන ලද ද්විතීයික ශ්‍රේණිවල සිසුන් අතරිනුයි.

පාසල්, අධ්‍යාපන කලාප, පළාත් සහ ජාතික මට්ටමින් විද්‍යාත්මක පර්යේෂණ පත්‍ර හා ඉදිරිපත්කිරීම් සිදුකර  ඒ සඳහා ඉහළ ම සාධනයක් පෙන්වූ ද්විතීයික පාසල් සිසුන් මෙම වැඩසටහන සඳහා තෝරාගෙන තිබෙනවා. විද්‍යා පර්යේෂණ සම්බන්ධ ව තම අධ්‍යාපන කලාපය තුළ විශේෂ වැඩසටහන් රැසක් ඉදිරිපත් කර ඇති හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා සන්දර්ශිකා බණ්ඩාර මහත්මිය මෙම දරුවන් භාරව යන නිලධාරිනිය ලෙස කටයුතු කරනවා. 

 ජපානයේ විද්‍යා හා තාක්ෂණ ආයතනය මඟින් වසරක් පාසා පවත්වන සකුරා විද්‍යා වැඩසටහනට විද්‍යා විෂය ක්ෂේත්‍රයෙහි විශිෂ්ට  දක්ෂතා දැක්වූ දරුවන් වෙත අවස්ථාව ලබාදීමට ජපානය එකඟ වී තිබෙනවා. ඒ අනුව 2018 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විද්‍යා විෂය ධාරාවෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වූ සිසුන් අතරින් සම්මුඛ පරීක්ෂණයක් මඟින් තෝරාගත් සිසුන් 10 දෙනෙක් සකුරා විද්‍යා වැඩසටහනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවීමට නියමිතයි. මේ සඳහා සිසුන් තෝරාගැනීමේ දී, උසස් පෙළ විද්‍යා විෂය  දක්ෂතා මෙන්ම, ජාතික හා ජාත්‍යන්තර විද්‍යා/ගණිත ඔලිම්පියාඩ් තරග ජයග්‍රහණ, පර්යේෂණ, නව නිපැයුම්, ක්‍රීඩා සහ විෂය සමගාමී අනෙකුත් දක්ෂතා කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා. විද්‍යා විෂය ධාරාව කෙරෙහි දරුවන් වැඩිදුරටත් නැඹුරු කරවීමත්, ඒ කෙරෙහි දිරිගැන්වීමත්, නවීන විද්‍යාවේ සොයාගැනීම් සහ ඒ පිළිබඳ අත්දැකීම් ලබාදීමත් අරමුණු කරගනිමින් පවත්වන මෙම වැඩසටහන අප්‍රේල් 14 දින සිට අප්‍රේල් 20 තෙක් ජපානයේ ටෝකියෝහි දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, අන්තර් ජාතික තරුණ විද්‍යාඥයා තරගාවලියට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යන සිසු දරුවන් සිව්දෙනා සහ ඔවුන්ගේ භාරකාර නිලධාරිනියටත්, ජපානයේ ටෝකියෝහි පැවත්වෙන සකුරා විද්‍යා වැඩසටහනට සහභාගී වන සිසුදරුවන් 10 දෙනා සහ ඔවුන්ගේ භාරකරුවන් දෙදෙනාටත් අදාළ ගුවන් ටිකට් පත් ප්‍රදානය ඊයේ(02)  අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා.  ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම්තුමන් සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම්තුමන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

ගුවන් ටිකට් පත් ප්‍රදානය අවසානයේ ගුවන් ටිකට් පත් ලබාගත් සියලු සිසුදරුවන් සමඟ සුහද පිළිසඳරකට සහ ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිස එක්වුණා.

</div

විෂයයන් කිහිපයක් තුළ කොටු වූ , විවිධ දක්ෂතා ඇති සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට ද සාර්ථක ලෙස අනාගතය ජයගත හැකි ලෙස අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය පියවර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන තිබෙනවා. ඒ, පිරුණු හැකියාවක් දිනන හැකියාවක් යන තේමාව යටතේ අ.පො.ස උසස් පෙළ සඳහා හඳුන්වා දී ඇති විෂයන් 26 ක වෘත්තීය ප්‍රවේශ නව විෂය මාලාව හරහායි. 


ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් මෙන්ම අසමත් දරුවන්ට ද සුබවාදී බලාපොරොත්තු දල්වා ගනිමින්,  අනාගත අභියෝග ජයගනිමින්රැකියා ලොව ජයගත හැකි සාර්ථක පුරවැසියෙකු වීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවත්, සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කඩඉම් විභාගයක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙවර සියලු විෂයයන් සඳහා Aසාමාර්ථ ලබාගත් දරුවන්ට මෙන් ම සියලු විෂයයන් අසමත් වූ දරුවන් වෙත ද එක සේ සුබ පැතුම් එක් කිරීමට හැකි වීම සතුටට කරුණක් බවඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා. 

2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 308843 ඉදිරිපත් වූ බවත් ඉන් අයදුම්කරුවන්226417 දෙනකු එනම් 75.09 % උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා, එය පසුගිය වසරේ ප්‍රතිඵල සමග සංසන්දනය කිරීමේ දී පැහැදිලි වර්ධනයක් පෙන්වන බව ද සඳහන් කළා. 2016 වසරේ පාසල් අයදුම්කරුවන්ගෙන් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතය 69.94% ක්, 2017 වසරේදී එය 73.05%ක්.


මෙවර සියලු විෂයන් සඳහා ( A9 ) “A” සාමාර්ථ ලබා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව 9413ක්. එමෙන්ම විෂයයන් සියල්ල අසමත් සිසුන් පිරිස 6195 ක්. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් නොලබන පිරිස 82426ක්.

සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් දරුවන් මෙන් ම විභාගය අසමත් දරුවන් ද උසස් පෙළ දක්වා අධ්‍යාපන පද්ධතිය තුළ රඳවා ගැනීමට 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන  යටතේ අවස්ථාව සලසා ඇති බවත්, ඒ අනුව, කිසිම දරුවෙක් උසස් පෙළ හදාරන තෙක් පද්ධතියෙන් ඉවත් නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.  

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ නව ලොව අවශ්‍යතා පාදක කරගනිමින් වෘත්තීය විෂයන් 26ක් සහිත ව උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ප්‍රථම වරට පාසල් පද්ධතියට හඳුන්වා දෙනු ලැබුවේ මීට වසර 2කට පෙරයි. නියාමන අදියරෙහි ක්‍රියාත්මක කළ එම වැඩසටහන 2019 වසරේ සිට දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කර ඇති අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලු දරුවන්ට උසස් පෙළ සඳහා වෘත්තීය විෂය ධාරාව තෝරාගැනීමට ඒ අනුව මේ වසරේ සිට ඉඩප්‍රස්ථා සැලසී තිබෙනවා.

Search